Sunday, September 17, 2023

ඇට බෝල ගැසීම

 පප්ප ගමේ ජනප්‍රියම ක්‍රීඩාව ඇට බෝල ගැසීමය. ඇටබෝල මැච් එක දවසට පප්පන් නොකා නොබී කිසිම වැඩක් නොකර උදේ ඉඳන් රෑ වෙනකන් ඒක බලයි. අනේ ඉතින් එහෙම උනාට පප්ප ගමේ ඇට බෝල ක්‍රීඩකයන් ඇට බෝල හැර අනිත් හැම දේම ගසයි. ඉතින් ඇටබෝල පුරුදු වෙන්නෙ නැති නිසා ගහන ගහන මැච් එක පරදී. හැබැයි ඉතින් ඉඳල හිටලා එක පප්පෙකුට ආච්චි වැහී ගහගෙන ගහගෙන යන වෙලාවට මැච් එක දිනයි. ඒක දකින පප්පන් පස්වනක් ප්‍රීතියට පත්වී කෑ කෝ ගසයි. ඔවුන් ලෝකෙන් උතුම්ම රට බවත්, ඔවුන් තරන් කාටවත් ඇට බෝල බැරි බවත්, ඕන එකෙකුට ගහන්න පුළුවන් බවත් කියයි. මෙලෝ දෙයක් හරියට කරන්නේ නැතුව පාර දිගේ බිබී ඇවිදින ඇටබෝල කාරයෙක් උනත් ඉඳල හිටල ගැහුවොත් මහා වීරයෙක් බවට පත්වේ. ඕවට විරුද්ධව මොනවත් කියන්න ගියොත් අම්බානකට නෙළයි. 

අනේ ඉතින් මේ විදියට ඉඳල හිටලා ගැහුවට කන දවසට මදි නොකියන්න කයි. ඒත් පප්පන් ඒවායින් සැලෙන්නේ නැත. ඔවුන් මැච් එක ඇනලයිස් කර පරදින්න හේතු හොයාගනී. පැරදීමට ප්‍රධාන හේතු පහත දැක්වේ. 

  • මහා හොර පප්පා මැච් එක බැලීම 
  • මැච් එක අස්සෙ හොර පූට්ටුවේ ඇඩ් එකක් දැමීම 
  • අන්රයියා රෝමයට යාම 
  • හාමු රෝමයට යාම (ඇත්තටම දෙන්නම එකම කාලේ රෝමයට ගියේ මොකද දන්නේ නෑ)
  • මැච් එක භාරතයට විකිණීම 
  • භාරතයෙන් ගත්ත ණයේ හිලව්වට 
  • මැච් එක IMF එකට විකිණීම 
  • මහා බංකුවේ මොකක් හරි එකක් 
  • මහා නිර්පාක්ෂික සාමකාමී වලිය 
  • ග්‍රහ අපලයක් 
  • කොඩිවිනයක් කරල 
  • බොන්න අගේන් කුමන්ත්‍රණයක් 
  • වංචාව සහ දුෂණය 
  • ඩිල් එකක් 
  • තරඟ පාවාදීම 

ඉහත සඳහන් පරිදි මැච් එක පැරදීමට පොඩ්ඩක් වත් අදාළ නැති දේවල් හේතු වශයෙන් දැකීම පප්ප ගමේ පුරුද්දකි. ඉතින් එයාල ඇත්ත හේතු දන්නෙ නැති නිසා විසදුම් දන්නෙත් නැත. මීට පස්සෙ ගහන මැචුත් ඉඳල හිටල දිනුවට වැඩි හරියක් පරදී. ආපහු පැරදුනාම ආපහු මේ හේතු ටිකම කියා බැන බැන සිටී. 

මේ ඇට බෝල තියරිය ආර්ථික අර්බුධය, දුප්පත් කම, විභාග ෆේල් වීම, ලිස්සා වැටීම, කලිසම ඉරීම වැනි වෙනත් ඔනෑම දෙයකට ඇප්ලයි කල හැක. ඒවාට හේතු වන්නේද ඉහත සඳහන් දේවල්මය. 


Tuesday, September 5, 2023

හාමුගේ ලොකු පප්ප තෝරන චන්දෙ

 හාමු චන්දෙ තියන්නේ දිනන්නය. දිනන්නෙ නැත්තන් චන්දෙ තියන්නේ නැත. හාමුට දිනන්න ඕනනන් හොඳම ක්‍රමය මෙයයි. හාමු කරන්නෙත් ඒක බව පෙනේ. 

පලවෙනි පියවර 

පප්ප ගමේ ලොකු පප්ප තෝරන චන්දය හැම වෙලාවේම දෙදෙනෙකුගේ වලියකි. දෙදෙනෙකුට වඩා ආවොත් උන් දෙන්න එකතුවී අනිත් උන් හැමෝටම නෙළයි. මේ පාර නං ඒ තියරිය අමාරුය. ඒක නිසා ලොකු පප්පා අන්රයියා එක්ක මීට අවුරුද්දකට ඉස්සර ඩිල් එකක් දැම්මේය. ඒකට අනුව "මහා සාමකාමී නිර්පාක්ෂික වලිය" ඉවර උනාම නිර්පාක්ෂික උන පප්පන් ආපහු කල්ලි වලට බෙදීමය. බෙදීම වෙන්නේ මෙසේය. කල්ලි දෙකකි. "මේ පාර මාළු මාමට" සෙට් එක ප්‍රගතශීලි, දුෂණයට විරුද්ධ කල්ලියයි. අනිත් හැමෝම ප්‍රතිගාමී දුෂණයට පක්ෂ සෙට් එකය.  මාළු මාමට විරුද්ධ එකෙක් ආවොත් පොර හාමුගේ කියා ලේබල් එකක් ගසයි. ඒක හාමුටද හොඳය. ඇයි ඉතින් මාළු මාමගේ නොවන අය හැමෝම හාමුගෙ නන් ශෝක්නෙ. මේ විදියට කල්ලි දෙකකට බෙදීමේ කොන්ත්‍රාත් එක වෙනුවෙන් අන්රයියාටද ප්‍රතිලාභ හිමිවේ. මාළු මාමගේ කට්ටිය අල්ලා දඬු කදේ ගහන්නේ නැත. එයාලගේ මීටින් වලට ආරක්ෂාව ලබා දේ. "ජඩ මාද්‍ය සමිතියෙන්" ප්‍රචාරණ කාලය ලබා දේ. ඒ මදිවට මාළු මාමගේ හතුරන්ට මදි නොකියන්න නෙළයි. මේ පියවර දැන් අවසන් වී ඇත. 


දෙවෙනි පියවර 

මුලින්ම තියෙන්නෙ ලොකු පප්ප තෝරන චන්දය යයි බොරුවක් ගම්ගත කරයි. එතකොට කට්ටිය සෙට් වෙලා සමහර සන්ධාන කඩයි, අලුත් සන්ධාන හදයි. කලින් බැනපු එවුන් එක්ක යාලුවේ. කලින් යාළුවෙච්ච අයට බනියි. මේක දකින දායක සභාව ඉච්චාභංගත්වයට පත්වේ. පරණ දායකයන් ඉවත් වේ. අලුත් දායකයන් එකතු වේ. එතකොට දායක සභාවේ ලෝයල්ටි එක අඩුවී කැලබිලි සහගත තත්වයක් ඇතිවේ. මේ දවස් වල වෙන්නේ මේකය. 


තුන්වන පියවර 

මහා පිස්සන් කොටුව විසුරවාහැර චන්දයක් කෝල් කරයි. එතකොට හැමෝටම අගමැති පප්පා වෙන්න ඕන වේ. සන්ධාන නැතිවී තනි තනිව චන්දයට යයි. කලින් හැදිච්ච සන්ධාන නැතිවී එකිනෙකා මරා ගනියි. හාමු පැත්තකට වී බලා ඉඳියි. එයා නිර්පාක්ෂික පප්පෙකි. අනේ ඉතින් සන්ධාන කැඩුනාම එයාල එකිනෙකාට මඩ ගහගනී. ආපහු සන්ධාන හදාගන්න බැරි ගානටම එකිනෙකා එක්ක වලි දාගනී.  


හතරවෙනි පියවර 

අනේ ඉතින් චන්දෙ ඉවර උනාම හැමෝටම චන්ද ටික ටික ලැබේ. අන්රයියාට 50ක්, මෝඩ පුතානෝට 50ක්, හාමුගේ කල්ලියට 30ක් (මතක තියාගන්න, හාමු ස්වාධීනය),  හොර පූට්ටුවට 20ක්, අරගලෙන් එන පප්පලට 20ක්,  සුළු ජාතික පප්පන්ට 30ක්, චීන පප්පලට 10ක්, පැණි සුමනෙගේ ගෝත්‍රික කල්ලියට 5ක් වගේ ලැබෙයි. අනේ ඉතින් දැන් හැමෝම දහ අතේ කල්පනා කරයි. සීට් 50කට වඩා ගන්න බැරිනන් කොහොමද ලොකු පප්ප චන්දෙ දිනන්නෙ ?.


පස්වෙනි පියවර 

ලොකු පප්ප තෝරන චන්දෙ කෝල් කරයි. හාමු හොර පුට්ටුවටයි, මෝඩ පුතානෝටයි, සුළු ජාතික පප්පන්ටයි මෙහෙම කියයි. ඔයාල ඕනනන් තනියෙන් ඉල්ලන්න. හැබැයි පැරදුනොත් ලොකු පප්ප වෙන්නත් බෑ, අගමැති පප්ප වෙන්නත් බෑ, ඇමති පප්ප කෙනෙක් වෙන්නත් බෑ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම මට සහයෝගය දෙන්න. මම දිනුවාම වැඩිපුරම චන්ද ගත්ත පුතානෝ අගමැති කරල අනිත් අයටත් ඇමති පට්ටන් දෙනව. එතකොට පුතානොත් මෙහෙම හිතයි. අපේ පියානෝත් JR පප්ප ළඟ අගමැති වෙලා ඉඳල තමයි ලොකු පප්ප උනේ. ඒ නිසා මේ ඩිල් එක දාගන්න ඕන. හොර පුට්ටුව මෙහෙම හිතයි. අපිට කොහොමත් දිනන්න බෑ. පුතානෝ එක්ක ඩිල් එකක් දාගන්නත් බෑ. අන්රයිය දිනුවොත් මොනව වෙයිද දන්නෙ නෑ. ඒ නිසා හාමුට සපෝට් එකක් දෙනව හැර විකල්පයක් නෑ.  සුළු ජාතික පප්පන් කොහොමත් හාමුටය. දිනනව වගේ පේන එකාට සපෝට් නොකර වෙන කාට සපෝට් කරන්නද. 


අනේ ඉතින් මෙහෙම උනොත් හාමුට සීට් 130ක සපෝට් එකක් ලැබී දිනයි. ලොකු පප්ප තෝරන චන්දය ගොඩක් වෙලාවට මෙහෙම ප්‍රතිපලයකින් ඉවර වෙයි.

1. හාමු (50%)

2. අරගල පප්පෙක් (25%)

3. හරිනි අක්කා (15%) (අන්රයියා මහා පිස්සන් කොටුවේ චන්දෙන් කෙලවාගත් පසු ආයි එන්නේ නැත)

4. ඩලස් අයියා (5%) (චීන නියෝජිතයා)


Tuesday, August 15, 2023

බයිමාරුව

 හාමු පූට්ටුවට ගියා ...

බයියො ටික ජේ වී පී එකට ගියා ...

වියත් මග සජබට ගියා ...

දැන් ඔයාල කාටද චන්දෙ දෙන්නෙ ?

Tuesday, August 1, 2023

හාමුගේ 13 දීම

 අනේ ඉතින් හාමුට චන්දය දිනන්න නන් උතුරේ චන්ද ඕනය. උතුරෙ අය චන්දෙ දෙන්නේ මහා භාරතයෙන් කියන එකාටය. ඉතින් හාමු මහා භාරතයෙන් උදව් ඉල්ලුවේය. ඔයා 13 දුන්නොත් අපි උදව් කරනවා කියල මහා භාරතය කිව්වේය. අනේ ඉතින් 13 දුන්නොත් දකුණේ චන්ද නැත. නුදුන්නොත් උතුරේ චන්ද නැත. ඉතින් හාමු දහ අතේ කල්පනාකාර මාර ප්ලැනක් ගැහුවේය. හාමු 13 ගැන කතා කරන්න සමිතියක් කැදෙව්වේය. අන්රයියා ඕවාට යන්නේ නැත. මෝඩ පුතානෝ ඇවිත් හාමුට විරුද්ධ වී චන්දයක් ඉල්ලුවේය. හොර පූට්ටුව විරුද්ධ උනේය. උතුරේ අයත් මොකද්ද බයිලයක් කියා විරුද්ධ වී චන්දයක් ඉල්ලුවේය. අනේ ඉතින් බලනකොට හාමු හැර අනිත් හැමෝම 13ට විරුද්ධය. ඉතින් ඔයාල හැමෝම විරුද්ධ නං මං කොහොමද 13 දෙන්නෙ, මම තනි මිනිහනේ කියල හාමු කිව්වේය. ඉතින් හැමෝම ගෙදර යන ගමන්, අද හාමු අම්බානට කින්ඩි උනා කියල හිකි හිකි ගෑවේය. හාමුත් වලව්වට ගිහින් තනියම හොඳටම හිකි හිකි ගෑවේය. 

අනේ ඉතින් හාමු මහා භාරතයට කෝල් කරල, මම සමිතියක් තියල ඇහුව, පප්ප ගමේ හැමෝම 13ට විරුද්ධයි, මම විතරයි කැමති කියල කිව්වේය. මහා භාරතයක් වැඩේ හොයා බැලුවේය. කතාව ඇත්තය. 13ට කැමති හාමු විතරය. 13ට කැමති හාමු විතරයි නිසා හාමුව ලොකු පප්ප කිරීම හැර විකල්පයක් නෑ කියා හිතුවේය.  එහෙනං හාමු ඔයා බයවෙන්න එපා.  ඔයා ලබන අවුරුද්දෙ චන්දයක් තියන්න, අපි උතුරෙ චන්ද අරන් දෙන්නන්, දකුණෙනුත් සපෝට් එකක් දෙන්නන් කියල කිව්වේය. 

අනේ ඉතින් ඔන්න ඔය විදියට හාමු 13ත් නොදී දකුණත් තරහ කරගන්නෙ නැතුව, උතුරේ චන්ද ගන්න ප්ලැන් එක ගැහුවේය. 

Saturday, July 8, 2023

බයියන් ගලවාගැනීමේ සමිතියට පහර දෙන්නේ ඇයි

 බයියන් යනු ජාන විකෘතියකට ලක්වූ හරක් පප්පන් ප්‍රභේදයකි. අවාසනාවකට හරක් පප්පන් ගෙන් 50% ක් පමණ බයියන් වේ. කුඩා කාලයේ සිටම බයියන්ගේ කොඳු කඩා සිතීමට ඇති හැකියාව විනාශ කර දමා ඇත. සිතන්නට බැරි නිසා ඔවුන් කරන්නේ කඩේ යෑමය. 

බයියන්ගේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ තමන්ට කරගන්නට බැරි දේවල් වෙනත් අය මගින් කරගතහොත් තමන්ටද එයින් ප්‍රතිලාබයක් ලබා ගැනීමට හැකි යැයි විශ්වාස කිරීමය. බයියන්ගේ පලවෙනි ටාගට් එක වන්නේ තමන්ගේම ළමයින්ය. තමන්ට කරගත නොහැකි දේ ළමයින් ලවා කර ගැනීමට උත්සාහ කරයි. ළමයිව ගම වටේ ක්ලාස් යවයි. පන්සල් පල්ලි කෝවිල් යවා බෝපැල මෙන් හදන්නට උත්සාහ කරයි. ටිකක් පොෂ් බයියන් කරන්නේ පියානෝ ප්‍රැක්ටිස්, ස්විමින් ප්‍රැක්ටිස් වගේ ඒවාට යැවීමය. ඒවාට ගියාම සුපිරි ළමයෙක් සැදී, තමන් නාකි උනාම හොඳට සලකන බව විශ්වාස කරයි. නමුත් වෙන්නේ මෙහි අනිත් පැත්තය. 

බයි ගතිය වැඩි වු විට තමන් වෙනුවෙන් සිල් රැකීමට ඒජන්ට් කෙනෙක් තෝරා ගනියි. එම ඒජන්ට් වෙන්නේ ගලවාගැනීමේ සමිතියේ මැන්ටල්ම ඩයල් එකකි. තමන් වෙනුවෙන් සිල් රැකීම නිසා මේ මැන්ටලේට පුද පුජා පවත්වයි, නොයෙක් දේ දන්දෙමින් පරලොව සඳහා ඉන්වෙස්ට්මන්ට් එකක් කරයි. කඳුවල බිල්ඩින් හදයි. එසේ කිරීමෙන් ලැබෙන පින් බලෙන් තමන් කරන හැම කුපාඩි වැඩක්ම නිෂ්ක්‍රිය වී දෙව්ලොව යන බව සිතයි. අනේ ඉතින් ගලවාගැනීමේ සමිතියේ ඩයල් එකත් වැඩිපුර සිල් රකින බව පෙන්වීමට අලුත් අලුත් පුජාවන් හඳුන්වාදෙයි. බයියන්ටත් සිල් රැකීමට උගන්වයි. ඊටපසු සිල් රකින්නෙ නැති අය හොයහොයා අම්බානට නෙළයි. අනේ ඉතින් මේවගේ මැන්ටල් ඩයල් රකින සීලයක් නැත. සිල් කඩන වෙලාවට බයියන්ට අහු උනොත් විනාශය. බයියන් තමන්ගේ ඉන්වෙස්ට්මන්ට් එක විනාශ වීම ගැන බොහෝ දුකට පත්වී දරුණු ලෙස පහරදී මැන්ටල් ඩයල් එක එලවා දමයි. ඊට පසු ඒවගේම තවත් මැන්ටල් ඩයල් එකක් හොයාගෙන ආපහු ඉන්වෙස්ට් කර කඩේ යයි. 

මීට පෙර සර් කරේ තියාගෙන ගියේද මෙම බයියන්ය. බයියන් සිතුවේ සර් දියකාවෙක් මෙන් මතුවී, බදු කපා, පඩි වැඩි කර, වැඩ නොකරන පප්පන්ට අමුර්තය දී, බෙහෙතුයි අධ්‍යාපනයයි නිකන්ම දී, ලයිට් බිල් ගැස් බිල් අඩු කර, නිකන් ඉන්න වෙලාවට ජාතියද ගලවා දෙයි කියාය. අනේ ඉතින් සර් කියපු විදියටම කරපු නිසා පප්පගම බංකොලොත් විය. ඉතින් බයියන්ට මල පැන සර් එලවා දැම්මේය. අනේ ඉතින් සර් කියපු දේවල් ඔක්කොම කර ඒ මදිවට හොරුත් අල්ලාගෙන, හොරාකාපු දේවලුත් ගෙන්නාගෙන, ගම පාලනය කිරීම සඳහා හතර පෝයටම සිල් ගන්නා රහසින් වත් පවු නොකරන උපාසක බළල්ලු අසූ හාරදාහක් පත් කරන බව අන්රයියා කිව්වේය. ඒ නිසා මේ දවස් වල බයියන් විසින් අන්රයියාව කරේ තියාගෙන යයි. අනේ ඉතින් අන්රයියාගේ ටොම් පචද ටිකටික මාට්ටු වේගෙන එන්නට පටන් ගෙන ඇත. ඒ නිසා තව මාස තුනකින් විතර අන්රයියාව බිම දමා, හාමුව කරේ තියාගෙන යෑමට නියමිතය. ඊට පසු මල් කුමාරයා වුවද කරේ තියාගෙන යා හැක. 

මුලින් කිව පරිදි බයියන්ට අවශ්‍ය වන්නේ, තමන්ට කල නොහැකි දේ තමන් වෙනුවෙන් කරන, තමන්ට ලබා ගත නොහැකි දේ තමන් වෙනුවෙන් ලබා දෙන බව කියන, ඕනෑම මැන්ටලයක් වෙනුවෙන් ඉන්වෙස්ට් කිරීම පමණි. නමුත් ගම ගොඩ ගත හැක්කේ පප්පන් මහන්සි වී වැඩ කිරීමෙන් පමණය. ඒ නිසා පප්පන්ට එදාද කෙලවී, අදද කෙලවී, අනාගතයේද කෙලවීමට නියමිතය. 

Sunday, July 2, 2023

දන්නෙම නැතුව ගම බේරාගත් පූට්ටුව

 අනේ ඉතින් පප්ප ගම බංකොලොත් වෙච්ච නිසා ණය කපල දාන්න කියල රෝමෙට වැඳ වැටුනේය. ඉතින් ඒක අහල සීසර් අයියාට මළ පැන්නේය. ඔයාල ණය අරන් පිස්සු කෙලියම අපි මොනව කරන්නද, අඩුම ගානේ ඔයාලගේ ණය ටිකවත් කපල පෙන්නුවොත් සලකා බලන්න පුළුවන් කියා සීසර් අයියා කීවේය. අනේ ඉතින් පප්ප ගමේ ණය කැපුවොත් බංකු වලට කෙලවේ. නොකැපුවොත් සීසර් අයියා ණය කපන්නෙ නැති නිසා කොහොමත් හොඳම එකින්ම කෙලවේ.  ඉතින් බංකුවේ ලොක්කා දහ අතේ කල්පනාකාර, බංකු ටිකත් බේරාගෙන, පිං පඩියත් බේරාගෙන, ණයත් අඩු කරගෙන පොලියත් අඩු කරගෙන, උද්ධමනයත් අඩු කරගන්න පුළුවන් මාර ප්ලෑනක් ගැහුවේය. 

අනේ ඉතින් ප්ලෑන හිතුවට වඩා සැහෙන්න හොඳය. ඇත්තටම හොඳ වැඩිය. හාමු ප්ලැන මහා පිස්සන්කොටුවට දැම්මේය. ප්ලැන පාස් උනොත් ගම ගොඩයන්න පුළුවන්. ගම ගොඩ ගියොත් අපිට කෙලවෙනවා කියල අන්රයියා කලින්ම විරුද්ධ වී රෝමෙට ට්‍රිප් එකක් ගියේය. අනේ ඉතින් පප්ප ගමේ අය හිතාගෙන ඉන්නේ අඟහරු ලෝකෙන් ආව කට්ටියක් ගම කැවා කියලාය. ලෝක හොරුන්ට චන්දෙ දීල, ඊට පස්සේ හොරා කෑවත් ඉන්න ගමක් තියනව කිවේ මේ හරක් පප්පන්ය. ඒ මදිවට බදුත් කපල, පඩිත් වැඩි කරලා, වැඩ කරන්නේ නැති අයට අමෘත්තය ඉල්ලල, තව නිකන් බෙහෙතුයි, ඉස්කෝලයි ඉල්ලල, තව තෙලුයි ලයිටුයිත් අඩු කරල, ඩොලර් එකත් අඩු කරන්න කිව්වෙ  හරක් පප්පන්ය. ඒ ඔක්කොම කරලා තව නිකන් ඉන්න එකේ ජාතියත් ගලවල දෙන්නන් කිව්ව සර්ව ලොකු පප්ප කරෙත් මේ හරක් පප්පන්ය. සර්ත් කියපු විදියටම කරලා ගම කා ගත්තට පස්සේ, අපේ ණය කපන්න බෑ, සීසර් අයියට ඕනනන් කපාගන්න කියල කෑ කෝ ගසන්නේද මේ හරක් පප්පන්මය. ඔහොම පිස්සු කෙළල ආයි ඇනගත්තොත්, කන්න නෑ, බොන්න නැ, තෙල් නෑ, ලයිට් නෑ, අනේ ඉතින් මුකුත් නෑ කියා හුල්ලන්නෙත් මේ හරක් පප්පන්ය. ඇත්තටම හරක් පප්පන්ට නැත්තේ ඔය කෙහෙල්මල් නොව මොළේය. 

අනේ ඉතින් මහා පිස්සන්කොටුවේ පිස්සො ටික චන්දෙට මොකද කරන්නේ කියා කල්පනා කළේය. ඒකෙ ඉන්න පිස්සන්ට මේ මොකද්ද වෙන්නෙ කියල කිසිම අවබෝධයක් නැත. පූට්ටුව චන්දෙ නොදුන්නොත් හාමු පිස්සොටික ගෙදර යවන නිසා විරුද්ධ වෙන්න බැරිය. ගොන් පුතානෝට මේ මොනවද වෙන්නේ කියන මෙලෝ දෙයක් තේරුනේ නැත. ප්ලැනට කැමති වෙලා ඒක පාස් උනොත් හාමුට වාසියි කියා හිතුවේය. කොහොමත් ගමේ බහුතරය හරක් පප්පන් නිසා එයාල කියන එක අහල විරුද්ධ උනොත් හරි කියා හිතුවේය. 

අනේ ඉතින් සුපුරුදු පරිදි හාමු උඩින්ම දිනුවේය. ගොන් පුතානෝ විරුද්ධ උනේය. දැන් ඉතින් වැඩේ හරි ගියොත් වාසිය හාමුගේ සාක්කුවටය. හොඳටම කෙලවෙලා මොනව කරන්නද කියල කල්පනා කරකර හිටපු පුට්ටුවටත් පිනා චාන්ස් එකක් වැදුනේය. දැන් ඉතින් වැඩේ හරි ගියොත් එයාලටත් කොන්ද කෙලින් තියාගෙන "ගම බේරාගත් පූට්ටුව" ලෙස එලියට බැසිය හැක. ගොන් පුතානෝ අතටම ආපු පිනා චාන්ස් එක පොලවේ ගැසුවේය. මෙහෙමත් ගොන් තඩියෙක් ජීවිතේට බිහිවී නැත. බිහිවෙන්නේද නැත. ඊළඟ චන්දෙදි පින් මන්ත්‍රී කමක් වත් ඉතුරු උනොත් පුදුමය. 

Wednesday, June 28, 2023

පප්ප ගමේ හොරු සහ අනාගත හොරු

 අනේ ඉතින් පප්ප ගමේ ලොකු පප්පාගේ සිට පොඩිම පොඩි පප්පා දක්වාම හොරුය. එක වසරේ පප්පෙක් උනත් පැන්සලක් හරි හොරකන් කරයි. ඉතින් මෙහෙම වෙන්නේ ඇයි. 

දියුණු වෙච්ච ගම් වලත් පප්ප ගමේත් ලොකුම වෙනස වන්නේ පහත සටහනේ දැක්වෙන රෙජිමයේ විශාලත්වයයි. පප්ප ගමේ එකිනෙක ඉතා තදට බැඳුනු ප්‍රධාන සමිති පහකින් සමවිත අති විශාල රෙජිමයක් ඇත. පප්ප ගමේ ලොක්කා පත්කරන්නේ මෙම රෙජිමයයි. ඒක වෙන්නේ මෙහෙමයි. මුලින්ම මාකට් කරන්න පුළුවන් පොටෙන්ෂල් එකක් තියෙන පප්පලා තෝරා ගනී. ඒ ඒ පප්පලාට අදාළ කැම්පේන් ඩිසයින් කරයි. ඊට පසු අදාළ පප්පලා සමග සාකච්චා කර හෙට්ටු කර ඩිල් එකක් දා ගනියි. අලුත් චන්දයකදී අලුත් කැම්පේන් තීම් එකක් අවශ්‍යය. "ජාතිය ගලවා ගැනීම", "යහපාලනය", "ජාතික ආරක්ෂාව", "හොරා කෑ සල්ලි ගෙන්විම" මේවාට උදාහරණය. ඊට පසු ජාතික වීර කැරැක්ටර් එකක් අවශ්‍යය. "අප්පච්චි", "මහ රජානෝ", "පොළොවෙන් මතු වූ ගැඩවිලා", "හිට්ලර්", "අයියා", "සහෝදරයා" ඒවාට උදාහරණය. ඊට පසු මඩ කැම්පේන්, නඩු කැම්පේන්, ගලවා ගැනීමේ කැම්පේන් ඇතුළු මහ ගොඩක් කැම්පේන් කරයි. 

අනේ ඉතින් කැම්පේන් කිරිමට කහවනු අවශ්‍යය. රෙජීමයෙන් ඕන තරම් කහවණු පොම්ප කරයි. "ජඩ මාධ්‍ය සමිතිය" කැම්පේන් හදයි. ගලවා ගැනීමේ සමිතිය මඩ ගසා, වලි දමා, නඩු දමයි. වැඩ නොකරන සමිතිය ඇන කොටාගෙන, වලි දමා, කඩේ යයි. අන්තර් ජාතික විශ්ව ළමා සමිතිය පාර දිගේ කෑ කෝ ගසයි. පාතාල සමිතිය සතුරන් අපාගත කරයි. වහල් පප්පන් කැම්පේන් එක උසුලාගෙන දුවයි. දායක සභාව තෙල බෙදයි. හරක් පප්පන් කැම්පේන් එක ගිල රැල්ලේ ගසාගෙන ගොස් චන්දය දෙයි. 

අනේ ඉතින් චන්දය දිනුවාට පස්සේ ලොකු පප්පාට රෙජිමයට කලගුණ සැලකීමට සිදුවේ. තමන් හොරකම් නොකෙරුවද රෙජිමයට ලයිෂන් දීම, පර්මිට් දීම, නඩු අයින් කිරීම, රස්සා දීම, තනතුරු දීම සහ අමුර්තය දීම වැනිදේ අනිවාර්යයෙන්ම කිරීමට සිදුවේ. වැරදිලාවත් එහෙම කරේ නැත්තන් රෙජීමය විසින් ඩිල් හෙළිකර ඇන්ටි කැම්පේන් කර ලොකු පප්පා එලවා දමයි.  අනේ ඉතින් ලයිෂන්, පර්මිට් දෙන්නේ ගමේ ආයෝජන මණ්ඩල, අපනයන, ආනයන මණ්ඩල හරහාය. රැකියා, තනතුරු දෙන්නේ ගම් සභාවේ කඩ හරහාය.  ඒ වගේම බංකු ණය කපා හරිම, ගමේ ණය ප්‍රතිපත්තිය ලොකු පප්පාගේ යාලුවන්ට ඕන විදියට වෙනස් කිරීම සිදු කරන්නේ මහා බංකුව සහ අනිත් බංකු හරහාය. ඉතින් මේ රැකියා තනතුරු ලබා ගන්නේ කැම්පේන් එක සංවිධානය කල, වියදම් කල සහ ක්‍රියාත්මක කල පප්පන්ය. ඉතින් ඒකට යටකළ කහවනු හොයා ගන්නේ පප්ප ගමේ කඩ වලින් හොරකම් කිරීම, පිනට කෑම, ලයිෂන් පර්මිට් වලින් ඒකාධිකාරයක් හදාගෙන තනියම කෑම වැනි හොරකම් වලිනි. ඉතින් ලොකු පප්පා මහා බංකුව ස්වාධින කිරීම, අනිත් බංකු සහ කඩ විකිනීම, අමුර්තය කැපීම, ලයිෂන් පර්මිට් නැති කිරීම යනාදියට විරුද්ධ විය යුතුය. 

අනේ ඉතින් පප්පන් කල යුත්තේ හොරු නොවන පප්පන් හොය හොයා චන්දය දීම නොවේ. හොරු නොවන පප්පන් චන්දය දිනුවද ස්වාභාවිකවම හොරු බවට පරිවර්තනය වේ.  මෙච්චර කලක් උනේද ඒකය. මින් පසු සිදුවන්නේද එයමය. ඒ වෙනුවට කල යුත්තේ අනාගත හොරු ඇතිවීමේ පරිසරය විනාශ කිරීමය. අනාගත හොරු හඳුනාගන්නේ මෙසේය. හැමදාම රැස්වීම් තියන, පෙළපාලි යන, කැම්පේන් කරන, රෝමෙට යන අය හඳුනාගන්න. ඔවුන්ට කහවනු ගෙවන්නේ රෙජිමයයි. ඒ නිසා ඔවුන් ගම් සභාවේ කඩ විකිනීමට විරුද්ධය. බංකු ස්වාධින කිරීමට විරුද්ධය. අමුර්තය කපා හැරීමට විරුද්ධය. ආයෝජන වලට විරුද්ධය. ලයිෂන් පර්මිට් නැති කිරීමට විරුද්ධය. රෝම ඉස්කෝල ගමට ගෙන්වීමට විරුද්ධය. අධ්‍යාපනය දීමට විරුද්ධය. ආර්ථිකය විවෘත කිරීමට සහ තරඟකාරිත්වයට විරුද්ධය. රෙජීමය පවත්වා ගැනීම සහ විශාල කිරීම වෙනුවෙන් පෙනී සිටි. ඔවුන් අනාගත හොරුන්ය. 



Tuesday, June 27, 2023

හොර පූට්ටුව ඉවරයි

 අනේ ඉතින් පප්ප ගමේ චන්ද මැෂිම කපුටාය. කපුටා හරක් පප්පන්ට අමුර්තය දෙයි. ඒ වෙනුවට හරක් පප්පන් චන්දය දෙයි. චන්දෙ දුන්නෙ නැත්තන් අමුර්තය කපයි. අනේ ඉතින් ඒ විතරක් නෙවෙයි. හොරුන් වෙනුවෙන් බස් වල පැක් වී කඩේ යාම, ගාල් වී පුන්නක්කු බීම වැනිදේ කරන්නේ අමුර්තය බිව් හරක් පප්පන්ය. ඒ විතරක්ම නෙවෙයි. හතුරන්ට නෙලීම, මඩ ගැසීම, ඇන කොටා ගැනීමෙ වලි දැමීම මෙන්ම හදිසියකට ජාතිය ගලවා ගැනීමටද පාවිච්චි කරන්නේ අමුර්තය බිව් හරක් පප්පන්ය. අනේ ඉතින් දිගටම පප්පන් අමුර්තය බොන තරමට කපුටාටද පූට්ටුවටද වාසිය. පප්පන්ටද වැඩ නොකර ඉන්න පුළුවන් නිසා අමුර්තය බොන එක වාසිය. චන්ද වැඩි කර ගැනීමට නම් අමුර්තය බොන පප්පන්ද වැඩි කරගත යුතුය. ඒ නිසා පූට්ටුවට කඩේ යන පප්පන්ට දිගටම අමුර්තය දුන්නේය. මේ විදියට පප්ප ගමේ වැඩ නොකර අමුර්තය බී කඩේ යන පප්පන් වැඩිවේගෙන ගියේය. මෙය පප්ප ගම බංකොලොත් වීමට ලොකු හේතුවකි. 

අනේ ඉතින් මේ හරක් පප්පන් හාමුට කොහොමත් අල්ලන්නේ නැත. මෙයාල කොහොමත් හාමුට චන්දෙ දෙන්නේ නැත. ඉතින් හාමු අමුර්තය කපා හැරියේය. පූට්ටුව අන්දුන් කුන්දුන් වී ගියේය. කඩේ ගිය හරක් පප්පන්ට ආච්චි වහුනේය. ආච්චි වැහුණු පප්පන් පාරට පැන කෑ කෝ ගැහුවේය. අනේ ඉතින් ඔය විදියට පූට්ටුවේ චන්ද මැෂිම කඩා බිමට සමතලා කළේය. දැන් පූට්ටුවන්ට කැත නැතිව පාරේ යන්නත් බැරිය. පාරෙ යන්නත් බැරි පුට්ටු කාරයින් කොහොමද ලොකු පප්ප තෝරන චන්දෙට එන්නේ.  දැන් පූට්ටුව හාමුට හෝ අන්රයියාට හේත්තු විය යුතුය. ඇත්තටම කිව්වොත් පූට්ටුව අන්රයියාට හේත්තු වෙන තරමට හාමුට වාසිය. හාමු ගේම් එක ගහන හැටි බලන් ඉමු. 

Thursday, June 22, 2023

අන්තර් ජාතික විශ්ව ළමා සමිතිය

අන්තර් ජාතික විශ්ව ළමා සමිතිය යනු අධ්‍යාපනය ලබාදීම වලක්වීම සඳහා පිහිටුවාගත් සමිතියයි. සමිතියේ ලොක්කා උපකුලපති පප්පාට කුනුහරුපහෙන් බැනවැදුණ උපාසක පප්පාය. 

අනේ ඉතින් ගෝල් දේශේ ගොඩක් ළමයින්ට යන්න ඉස්කෝල නෑ. ගම බංකොලොත් වෙච්ච නිසා ඉස්කෝල දාන්න තියා කන්නවත් කහවනු නැනේ. ඒත් ඉතින් රෝමන් කාරයෝ ඇවිල්ල පප්ප ගමේ ඉස්කෝල දානවට ළමා සමිතිය විරුද්ධය. ඒකට හේතු දෙකක් ඇත. පළවෙනි එක අධ්‍යාපනයේ කොලිටිය බාල වන බවය. නමුත් ඇත්තටම කොලිටිය බාල වී ඇත්තේ පප්ප ගමේය. කොලිටිය සහ නියාමනය හොඳ රෝමයේය. ඉතින් කොලිටිය අඩු ඉස්කෝලෙට යන ළමා පප්පන් කොලිටිය වැඩි ඉස්කෝලයක් දැම්මාම කොලිටිය අඩුවන බව කියයි. එම තර්කය තේරුම් ගැනීමට PhD දෙකක් අවශ්‍යය. කොලිටිය අවුල් නන් කොලිටියට නීති ගෙන ආ යුතුය. ඉස්කෝල තහනම් කිරීම උත්තරය නොවේ. දෙවෙනි එක කහවනු වලට අධ්‍යාපනය විකිනෙන බවය. අනේ ඉතින් පප්ප ගමේ ඉස්කෝල වල උගන්නන්නේ නිකන්ය. නිකන් කිව්වට නිකම්ම නොවේ. ඒවාටත් කවුරුහරි ගෙවයි. ඒවාට ගෙවන්නෙත් පප්පලාගේම බදුය. ඒ කියන්නේ ඉස්කෝලේ යන සහ නොයන සියලුම පප්පලත්, ඉස්කෝලේ යන පප්පලා වෙනුවෙන් බදු ගෙවයි. එච්චර ගෙව්වත් යන්න ඉස්කෝල නැත. ඇත්තටම කහවනු ගෙවිය යුත්තේ ඉස්කෝලෙ යන පප්පන් මිස නොයන පප්පන් නොවේ. කහවනු නැත්තන් නිකං ඉගැන්විය යුතුය. හැබැයි ඒ වියදම රස්සාවක් කරනකොට අයකර ගත යුතුය. එහෙම ඉගෙනගෙනත් රස්සාවක් කර ණය ගෙවිය නොහැකිනම් වැරැද්ද ඇත්තේ උගන්නන දේවල් වලය. 

අනේ ඉතින් රෝමන් ඉස්කෝල දාන්න ළමා සමිතිය විරුද්ධ නිසා කහවනු තියන පප්පන් රොමේ ඉස්කෝලවලට යයි. එසේ ගිය සමහර පප්පන් ආපහු ගෝල් දේශයට සේවය කිරීමට එයි. ළමා සමිතිය ඒකටත් විරුද්ධය. එතකොට ආපහු කොලිටිය නැතිවෙන බව කියයි. අනේ ඉතින් රෝමේ කොලිටි නැත්තන් එහේ ඉන්න රෝමන් කාරයෝ මෙලහට මැරිච්ච තැන ගසුත් පැලවී ඇත. ඇත්තටම මැරෙන්නේ රෝමන් කාරයන් නොව ගෝල් දේශයේ පප්පන්ය. 

අනේ ඉතින් කොහොම කොහොම හරි ගෝල් දේශේ ඉගෙනගෙන රස්සාවක් කරත් හරියකට පඩියක් හම්බුවෙන්නේ නැත. හම්බුවෙන ගානට වැඩි ගානක් බදු වලට කපා දමයි. ඉතින් සමහර පප්පන් ඉවසන්න බැරුව රොමේ රස්සාවට යයි. ළමා සමිතිය ඒකටත් විරුද්ධය. අපේ බදු සල්ලි වලින් ඉගෙනගෙන රෝමෙට යන බව කියයි. ඉතින් එහෙනං බදු ගහන්නේ නැතුව අධ්‍යාපනයට කහවණු අය කරොත් හරිනෙ. එතකොට රෝමෙට ගියත් ඒ ණය ගෙවල තමයි යන්න ඕන. ඉතින් ඉගෙනගන්න කහවණු අයකරනවටද පප්පලා විරුද්ධය. සරලව කිව්වොත් අධ්‍යාපනය ලැබීමට අදාළ සැම දෙයකටම විරුද්ධය. 

Tuesday, June 20, 2023

මඩ කැම්පේන්

 අනේ ඉතින් එකවර වැඩ නොකරන සමිතිය සහ ගලවාගැනීමේ සමිතියට නෙලීම අපහසු බව හාමු තේරුම් ගත්තේය. ඒ නිසා ගලවාගැනීමේ සමිතියට නෙලීමේ වැඩය අවුට්සෝස් කිරීමට තීරණය කළේය. ඒ අනුව හාමු විසින් කන්ට්‍රැක්ට් එක කයියනායක සහෝදරහොරුන්ට බාර දුන්නේය. කයියනායක සහෝදරහොරු විසින් මාළු මාමාගේ "නිවන්සැප ලැබෙන සමිතිය" ඇක්ටිවේට් කළේය. අනේ ඉතින් කීබෝඩ් විරුවන් මේ දවස් වල පූට්ටු බයියන්ට හතර අතට නෙලාගෙන යයි. 

අනේ ඉතින් නිවන්සැප ලැබෙන සමිතියේ කයියන්ගේ මොලේ වර්ධනය අවම නිසා ඉලක්කයට නෙලීමට බැරිය. එනිසා නෙලන ඒවායින් සමහරක් පැත්තක ඉන්න අයටද වැදේ. සමහර ඒවා කැරකී ඇවිත් ආපහු කයියනායක දෙවියන්ටද වැදේ. කෙසේ වුවද මේ සටන් අතර හාමුට තමන්ගේ වැඩ ටික නිදහසේ කරගත හැක. අපිටත් සටනක් බලා සතුටු විය හැක. 

Sunday, June 18, 2023

වැඩ නොකරන සමිතිය සහ මහා බංකුව

 අනේ ඉතින් පප්ප ගමේ පප්පන් වැඩ කරන්නේ "වැඩ නොකරන සමිතියේය". වැඩ කරනවා කිව්වට වැඩ කරන්නේ නැත. වැඩ කරත් කොකරත් පඩි ගෙවන, අස් නොකරන නිසා වැඩ කිරීමට හේතුවක්ද නැත. වැඩ නොකරන සමිතියේ ලොක්කා පත් කරන්නේ මහා පිස්සන් කොටුවෙන්ය. ඉතින් එයා වැඩ දන්නෙත් නැත. වැඩ නොකරන නිසා පප්ප ගමේ නිෂ්පාදනයක් නැත. නිෂ්පාදනයක් නැති නිසා ආදායමක් නැත. අදායමක් නැත්තන් පඩිත් නැත. පඩි නැතුව පප්පලාට රොටි කන්නට බැරිය. ඉතින් රොටි නැති උනාම පප්පලට බඩගිනිවී වැඩ නොකරන වලි දමයි. අනේ ඉතින් ආදායමක් නැතුව පඩි ගෙවන්න බැනේ. ඒ නිසා ලොකු පප්පා ණය අරගෙන බාගයක් හොරා කා ඉතිරි බාගෙන් පඩි ගෙවයි. අනේ ඉතින් ණය ගෙවන්න බැරි නිසා පොලු තිබ්බම ආපහු කවුරුත් ණය දෙන්නේ නැනෙ. එතකොට කබරාල කහවනු අච්චු ගහල පඩි ගෙවනව. කහවනු අච්චු ගැහුවත් රොටි අච්චු ගහන්න බැනේ. අනේ ඉතින් පප්පල කන්නෙ රොටිනෙ. කහවනු නෙවෙයිනෙ. ඉතින් රොටියක් ගන්න ගෙවන්න ඕන කහවනු ගාන වැඩිවෙනවා. ඒ කියන්නේ කහවනු වල වටිනාකම අඩු වෙනව. ඕකට කියන්නෙ උද්ධමනය කියල. 

අනේ ඉතින් උද්ධමනය වැඩි උනාම කහවනු තිබ්බට ඒවායින් මුකුත් ගන්න බැරි වෙනව. උද්ධමනය අඩු කරන්න නං ගිනි පොලිය වැඩි කරන්න ඕන. ගිනි පොලිය වැඩි උනාම ණයට කහවණු ගන්න බැරි වෙනව. අනේ ඉතින් කහවනු නැති උනාම බිස්නස් කරන්න බැරි වෙනව. එතකොට පප්පල බිස්නස් නොකර සල්ලි පොලී මුදලාලිට 20% පොලියට දීල පොලිය ගන්නව. ඒක බිස්නස් කරනවට වඩා ලාබයි. ඉතින් පප්පලගේ අතේ සල්ලි නැති නිසා රොටි නොකා ඉන්නවා. එතකොට නිෂ්පාදනය අඩු වෙනවා. ආදායම අඩු වෙනව. ආර්ථිකය හැකිලෙනව. එතකොට වැඩ නොකරන සමිතියට පඩි ගෙවන්න බැරි වෙනව. 

අනේ ඉතින් වැඩ නොකරන සමිතියට පඩි ගෙවන්න මහා බංකුව පොලී මුදලාලිගෙන් 30%ක ගිනි පොලියට ණය ගන්නව. ඉතින් පොලී මුදලාලි ළඟ තියෙන්නෙ පප්පලගෙන් 20%ක පොලියට ගත්ත කහවනුනේ. ඉතින් ඒ කහවනු ටිකම තමයි පොලී මුදලාලි ආපහු මහා බංකුවට දෙන්නෙ. ඉතින් ඒ ණයෙන්ම වැඩ නොකරන සමිතියට පඩි ගෙවනව. අන්තිමට පප්පලාට 20%ක පොලියත් එක්ක කහවනු 100ක් තැන්පත් කලාම 120ක් හම්බුවෙනවා. හැබැයි උද්ධමනය නිසා ඒකෙ වටිනාකම 50%අඩු වෙලා ඇත්ත වටිනාකම කහවනු 60යි. එතකොට ඉතිරි කහවනු 40ට මොකද උනේ. ඒවායින් තමයි වැඩ නොකරන සමිතියෙ ලොක්ක්කන්ට, පොලී මුදලාලිට පඩි ගෙවල, මහා පිස්සන්කොටුවේ පිස්සොයි ලොකු පප්පයි හොරා කන්නේ. අනේ ඉතින් පප්පලාගේම කහවණු බංකුවට අරගෙන, ඒකෙන් රෙජීමයේ ඔක්කොම අම්බානට කාල, ඉතිරි ටිකෙන් පප්පලටම පඩි ගෙවනව. ඒ පඩියේ වටිනාකම උද්ධමනයට අහුවෙලා අඩු වෙනව. ඒ කියන්නේ පප්පල බඩගින්නේ ඉඳගෙන රෙජිමයට කහවනු ගෙවනව. 

මහා බංකුව ණය ගන්නෙ වැඩ නොකරන සමිතියට පඩි ගෙවන්නනේ. ඉතින් වැඩ නොකරන සමිතිය විකිනුවනන් පඩි ගෙවන්න ඕනත් නෑ, ණය ගන්න ඕනත් නෑ, වැඩ නොකරන සමිතිය ඩොලර් දීල ගන්න සීසර් අයිය පප්පලට අම්බානට නෙලල හරි වැඩ ගනීවි. එතකොට නිෂ්පාදනය වැඩි වෙලා, පප්ප ගමේ ආදායමත් වැඩි වේවි. අනේ ඉතින් කයියනායක දෙවියෝ කියන්නේ වැඩ නොකරන සමිතිය සම්පතක් නිසා ආරක්ෂා කරන්න ඕන කියල. හරක් පප්පලටත් මොලයක් නැති නිසා ඒක විශ්වාස කරල වැඩ නොකරන සමිතිය විකුණනවට කැමති නැ. ඉතින් හාමුත් කල්පනා කරනවා මුන්ටත් මේකෙන් නිදහස් වෙන්න ඕන නැත්තන් මම නිකන් ඉල්ලන් කන්නේ මොකටද, මුන්ගෙන්ම කහවනු අරන් පඩි ගෙවල මාත් කීයක් හරි හොරා කනව කියල. අනේ ඉතින් හරක් පප්පල රොටි නොකා වැඩ නොකරන සමිතියට  පඩි ගෙවන්නයි හොරා කන්නයි කහවණු පූජා කරනවා. ඊට පස්සේ වැඩ නොකරන සමිතිය බේරගන්න ඕන කියකිය පාර දිගේ කෑ කෝ ගානවා. අනේ ඉතින් මේ වගේ හරක් පප්පලට මොනවටද රොටි දෙන්නෙ. තණකොළ ටිකයි පුන්නක්කු ටිකයි දීල හිටියාම හොඳටම ඇති. 





Wednesday, June 14, 2023

හාමු vs ගලවාගැනීමේ සමිතිය

 අනේ ඉතින් අපි කියපු විදියටම මහා හොර පප්පා විසින් ගලවාගැනීමේ සමිතිය බස්සවා පොඩි පොඩි කට්ටිය දඬු කදේ ගැහුවේය. මේ අතර කයියනායක සහෝදරවරුන් වැඩ නොකරන සමිතිය බස්සවා පොඩි පොඩි වලි පටන් ගෙන ඇත. කයියනායකගේ වලිය නම් හාමුගේ ප්ලෑන් එකේම කොටසකි. මේ දවස් වල ප්‍රතිසංස්කරණ වල රෙසිස්ටන්ස් එක වැඩි නිසා වැඩ නොකරන වලියක් දා ගැනීමෙන් හරක් පප්පලා ගාල කඩාගෙන දුවන්නේ නැතිව පිළිවෙලකට තබාගත හැක. හැබැයි වැඩේ නැගල ගියොත් අන්රයියා හාමු එක්ක තියෙන ඩිල් එක ක්ලෝස් කර වැඩ පටන් ගැනීමටද ඉඩ ඇත. මේ බව මහා හොර පප්පටද හොඳටම තේරෙයි. බලාගෙන හිටියොත් හාමු වැඩ නොකරන සමිතිය විකුණා, ගලවාගැනීමේ සමිතිය ගෙදර යැවිය හැක. එහෙම නැත්තන් අන්රයියා වැඩේ අතට ගන්නටද ඉඩ තිබේ. ඇත්තටම කිව්වොත් තව දඬු කදේ ගැසිය යුතු පොඩි පොඩි උන් ටිකක් ඇත. ඒත් වෙලාවක් නැත. අනේ ඉතින් තව නාට්‍ය දෙක තුනක් පෙන්නන්න ප්ලෑන්  කරගෙන හිටියත් වෙලාවක් නැති නිසා මහා හොර පප්පා කෙලින්ම හාමුගෙන් ගේම ඉල්ලීමට පටන් ගෙන ඇත. 

මේ වෙලාවට හාමුට මොලේ ඇත්නම් මහා හොර පප්පා සහ කයියනායක එකට හැප්පවිය යුතුය. එහෙම නැතුව වැඩ නොකරන සමිතිය සහ ගලවා ගැනීමේ සමිතියට එක පාරට නෙලන්න ගියොත් කෙලවිමේ සම්භාවිතාව වැඩිවේ. මේ දෙගොල්ලන් එකාට එකා හප්පා දඬු කඳේ ගහ ගැනීමට ලැබුනොත්, හාමුට හිමීට මතුවී සාමය ඇති කළ පියා ලෙස ලොකු පප්පා වීමට පුළුවන්. 

පප්පගමේ චන්ද නාට්‍යයේ හාමු ඊළඟට අදින මුව්ස් ගැන ඉතා සතුටින් බලා ඉඳිමු. 

Sunday, June 4, 2023

චන්ද දිනීමේ න්‍යායන්

 වෙනත් ගම්වල නම් චන්ද යනු ගම්පාලන ප්‍රතිපත්ති විග්‍රහ කරමින් තර්ක කරමින් සංසන්දනය කරමින්, වර්තමාන හා අනාගත තත්වයන්ට වඩාත් ගැලපේ යැයි සිතන ප්‍රතිපත්ති ඉදිරිපත්කරන පප්පන් තෝරා ගැනීමේ ක්‍රමයකි. නමුත් පප්ප ගමට ඒවා අදාලම නැත. ඔවුන් ප්‍රතිපත්ති, ක්‍රමවේදයන් වැනි දේ අහලාවත් නැත. තේරුම් ගැනීමට මොලයක්ද නැත. මොලයක් තිබ්බනං මෙච්චර කෙලෝගන්නෙත් නැති නිසා ඒ ගැන කතා කිරීමේ තෙරුමක්ද නැත. පප්ප ගමේ චන්ද දිනීමේ ප්‍රධාන න්‍යායයන් හතරක් තිබේ. 

  1. බෙදී එකතුවීමේ න්‍යාය 
  2. පොදු සතුරා පැරදවීමේ න්‍යාය 
  3. රැල්ලෙන් රැල්ලට පාවෙන න්‍යාය 
  4. සමනලයා තටු සැලීමේ න්‍යාය 


1. බෙදී එකතුවීමේ න්‍යාය  

මෙය ඉතාමත්ම පැරණි න්‍යායකි. මුලින්ම හරක් පප්පන් ආගම්, ජාතින්, සංස්කෘතීන්, කුල හෝ ප්‍රදේශ ලෙස බෙදා වෙන් කරයි. ඒ ඒ කොටස් වලට වෙන වෙනම නායක පප්පන් පත් කරයි. ඒ ඒ නායක පප්පන් තමන්ගේ ලබූ ගෙඩිය අනිත් අයගේ එකට වඩා හැම අතින්ම හොඳ බව හරක් පප්පන්ට දෙසා බායි. ඒ මදිවට අනිත් එවුන් අපේ ලබු ගෙඩිය අල්ලා ගන්නට එන බවත්, එනිසා ලබු ගෙඩිය ගලවාගතයුතු බවත් දෙසා බායි. හරක් පප්පන් ඒවා හිස්මුදුනින්ම පිළිගෙන පස්වනක් ප්‍රීතියට පත්වී කෑ කෝ ගසයි. ලෝකයා හිනාවෙයි. ඒත් පප්පන්ට ගානක් වත් නැත. චන්දයේදී තම තමන්ගේ නායක පප්පන් දිනවයි. ඊට පසු එම නායක පප්පන් එකතු වී, හරක් පප්පන්ට කෙලලා අරියි. හරක් පප්පන් හුල්ලයි. ඊළඟ චන්දයේදීද ඕකම රිපීට් කරයි. 

2. පොදු සතුරා පැරදවීමේ න්‍යාය

මුලින්ම පොදු සතුරෙක් නිර්මාණය කරයි. එය බොහෝවිට පුද්ගලයෙක්, එහෙම නැත්තම් ජන වර්ගයක්, ආගමක් හෝ රෝමන් කුමන්ත්‍රණයක් විය හැක. එම පොදු සතුරා පැරදවීමට නායකයන් ගොඩාක් සෙට් වී ගිවිසුමක් ගසයි. එය දැක හරක් පප්පන් පස්වනක් ප්‍රීතියට පත්වී කෑ මොර දෙයි. සියලු කෙලවීම් වලට හේතුව පොදු සතුරා බව ඔවුන්ට හිතෙන්නට පටන් ගනී. පොදු සතුරා පැරදවීම ජාතික වගකීමක් බවත්, ඔවුන් මේ පින් බිමේ ඉපදුනේ පොදු සතුරා පැරදවීමට බවත් හිතෙන්නට පටන් ගනී. අනේ ඉතින් පොදු සතුරා පරදා එන සතුරාද ඒ විදියටම ගම කයි. පප්පන් හුල්ලා ඊළඟ චන්දයේදීද ඒකම කරයි. 

3. රැල්ලෙන් රැල්ලට පාවෙන න්‍යාය

රැල්ලක් ඇති කිරීමට අවුරුද්දක පමණ කාලයක් ගතවේ. මුලින්ම ආකර්ශනීය සටන් පාඨයක් තෝරා ගනී. උදාහරණ ලෙස "ජාතික ආරක්ෂාව ඇති කිරීම", "රෝමන් කුමන්ත්‍රණ පැරදවීම" "හොරු එළවීම", "හොරා කෑ සල්ලි ගෙන්වාගෙන ගම ගොඩ දැමීම" දැක්විය හැක. ඉන් පසු ගමේ ඉබේම ඇතිවන සිද්ධීන් මේවාට ගලපයි. උදාහරණ වශයෙන් "මාළු පිහියක් අහුවීම" සමග "ජාතික ආරක්ෂාව බිඳවැටීම" සම්බන්ධ කරයි. "පිටේ පච්චයක් ගහපු සුස්දෙක් අහුවීම" "රෝමන් කුමන්ත්‍රණ" වලට සන්බන්ධ කරයි. ඊට පසු මේ සන්බන්ධකම් පිලිබඳ විග්‍රහ කිරීම් සැම දිනම සිදු කරයි. බාගෙට උගුතුන් ගෙන්වාගෙන ඕනෑම දෙයක් වෙනත් ඕනෑම දෙයක් වෙන බව තර්කානුකුලව ඔප්පු කර පෙන්වයි. ඒවා අහන පප්පන් සියල්ල තේරුම් ගත් බව පවසමින් පස්වනක් ප්‍රීතියට පත්වේ. ලෝකයා හිනා වෙයි. ඒත් පප්පන්ට ගානක් වත් නැත. මේවා කැම්පේන් කිරීම ලෙස හඳුන්වයි. එම කැම්පේන් එක ගිල දැමීමෙන් පොඩි පොඩි රැලි ඇතිවේ. පොඩි රැලි එකතුවී ලොකු රැලි ඇතිවේ. තරමක රැල්ලක් ඇතිවූ පසු හරක් පට්ටිය පාර දිගේ දක්කාගෙන යයි. දක්කාගෙන ගොස් ටකරන් මඩුවක ගාල් කර මොලෝ රහක් නැති පුන්නක්කු පොවයි. පප්පන්ද රස කරකර පුන්නක්කු බොයි. මෙවන් දක්කාගෙන යෑම් දකිනවිට රැල්ලක් ඇතිවන බව පෙනෙන්නට පටන් ගනී. රැල්ලත් එක්කම ගසා ගෙන යාම පප්ප ගමේ ජාන විකුර්තියකින් ඇතිවූ ස්වභාවික තත්වයකි. එම විකුර්තිය නිසා රැල්ලට අනුව ගසාගෙන යාම තමන්ගේ ජාතික වගකීමක් බව හරක් පප්පන් හිතයි. එයට විරුද්ධව කවුරුහරි කතා කරොත් ඔහු "රෝමන් කුමන්ත්‍රණ කාරයෙක්", "බහු ජාතික සමාගමක ඉත්තෙක්", "ගම, ජාතිය,  ආගම විනාස කරන පිල්ලියක්", "කාගේ හරි ප්ලාන්ට් එකක්" හෝ "අව ජාතක පුත්‍රයෙක්" ලෙස හඳුන්වා අම්බානකට නෙළා දඬු කඳේ ගසයි. අනේ ඉතින් හරක් පප්පන් රැල්ලට චන්දය දී හොඳම එකින්ම කෙල ගනී. ඊට පසු, එයාල බොරු කිව්වේ, අපි තොත්ත බබාල නිසා හොඳටම රැවටුනා, අපි හරි පවු යයි කියයි. මීට පස්සෙ නන් අපි රැවටෙන්නේ නෑ. දැන් අපිට හොඳට තේරෙනවා, දැන් අපේ මොලේ අයින්ස්ටයින් අයියගේ මොලේටත් වඩා පොඩ්ඩක් වැඩියි කියා හරක් පප්පන් කියන්නට පටන් ගනී. ඊටපසු එන අලුත් රැලිවලටද ගසාගෙන ගොස්, කලින් එකටත් වඩා හොඳ එකකින් කෙල ගනී. මේ න්‍යායද කැමති වාරයක් රිපීට් කල හැක. 

4. සමනලයා තටු සැලීමේ න්‍යාය

මෙය අලුත්ම න්‍යායකි. මෙහි මූලික සංකල්පය, සමනලයා නමැති ඉතාම කුඩා සතාගේ සියුම් තටු සැලීමක් මගින් විශාල චන්ධ මාරුතයක් ඇති කිරීමයි. නමුත් සාමාන්‍ය තත්වයන් යටතේ කුඩා තටු සැලිමකින් චන්ධ මාරුතයක් ඇති කල නොහැක. ඒ සඳහා පද්ධතිය තුල තිබෙන සමතුලිත තාවය බිඳ කේඔටික් සිටුවේෂන් එකක් ඇති කල යුතුය. සාමාන්‍ය ලෝකයේ කුඩා කණ්ඩායමක් තුල මෙය නිතර සිදුවේ. උදාහරණයක් වශයෙන්, ලොකු කරදරයක්, මරණයක් වැනි ශොක් එකක් ඇතිවු අවස්ථාවකදී පුද්ගලයෙක් හෝ කුඩා කණ්ඩායමක් තුල සාමාන්‍ය ආකාරයට තීරණ ගත නොහැකි තත්වයක් ඇතිවේ. මෙවන් අවස්ථාවල දේශනා පප්පෙකුගේ දේශනාවක් ඇසීමෙන් ඔහු කියන ඕනෑම දෙයක් ඇත්ත බවට හැඟීමක් ඇතිවේ. ජීවිතේට දානයක් දෙන්නෙ නැති එකෙකුට වුවද දාන දීමට සිතේ. මෙය ඊටත් වඩා විශාල කණ්ඩායම් සඳහා භාවිතා වේ. හාස්කම් ඇතැයි කියන පන්සල්, පල්ලි, දේවාල වැනි තැන්වල උපාසක බළල්ලු මුදු මාල වැනිදේ ගලවා විසි කරයි. ඊට කාලයකට පසු මේ මොන ගොන් වැඩක්ද කලේ කියා සිතයි. 

අපිට මේ න්‍යාය මුළු ගමක් සඳහා ඇප්ලයි කර බැලිය හැක. උදාහරණයක් වශයෙන් ආගමික අපහාස ඇතිකර, එම අපහාස වලට අපහාස කර, එම අපහාස වලට අපහාස කරන්නන්ට අපහාස කර උන් ඔක්කොම දඬු කඳේ ගැසීම මගින් නිශ්චිත ඉලක්කයක් නැතිව හැමෝම හැමෝටම මඩ ගසා ගන්නා තත්වයකට පත්කළ හැක. වෙනත් උදාහරණයක් ගතහොත්, කඩ විකුණා, එම විකිනීමට විරුද්ධ මතයක් ඇතිකර, එම මතයට විරුද්ධ මතයකුත් ඇති කර උන් උන් කෙලවාගන්නා තත්වයකට පත් කරයි. තවත් උදාහරණයක් ගතහොත්, බංකු බිඳවැටෙන බවට මතයක් ඇති කර, එය බොරු බවටත් මතයක් සාදා, ඒකත් බොරු බවට මතයක් හැදීමය. මේ ආකාරයෙන් නොයෙක් මාතෘකා එක දිගට ගෙනැවිත් ඒවා ගැන එක එක මත එක දිගට ප්ලාන්ට් කර කොන්ෆියුස් උන්ගා බුන්ගා තත්වයක් ඇති කරයි. ඊට පසු තැන තැන කුඩා ඇන කොටා ගැනීමේ වලිද, ඒවාට විරුද්ධ වලිද, විරුද්ධ අයට විරුද්ධ වලිද ඇති කරයි. ඒ මගින් සමාජ අවිනිශ්චිත තත්වයක් ඇතිකර කාට කඩේ යන්නද කියා හිතාගත නොහැකි තත්වයක් ඇති කරයි. ඊට පසු එක්වරම විශාල බියක් ඇති කර සාමාන්‍ය ආකාරයට තීරණ ගත නොහැකි තත්වයක් ඇති කරයි. මෙයට සමගාමිව එක් පුද්ගලයෙක් ඉතා මෘදු එහෙත් විශ්වාසනීය ආකාරයෙන් යමක් පැවසීම මගින් හැමෝම එයට අනුගත වීමට පටන් ගනී. මේ දිනවල එක්වරම නැග එන අමුතු නැගිටීම් සමග හාමුගේ විශ්වාසනීය ජාතිය ඇමතීමේ කතා මෙහි පෙරහුරුවක් ලෙස අනුමාන කල හැක. 

හාමු යනු පප්පන් බෙදන කෙනෙකු මිස එකතු කරන කෙනෙකු නොවේ. ඔහුට විවිධ මත දරන පක්ෂ එකතු කර සන්ධානයක් හැදීමේ හැකියාවක් නැත. ඒ නිසා ඔහුට "බෙදී එකතුවීමේ න්‍යාය" හෝ "පොදු සතුරා පැරදවීමේ න්‍යාය" භාවිතා කළ නොහැක. හාමු හරක් පප්පන්ව සත පහකට ගණන් නොගනී. ඇත්තටම කියනවනන් මෙවන් බත් කන හරකුන්ව ගණන් ගතයුතුද නැත. ඒ නිසා හාමුට රැලි ඇති කිරීමටද නොහැක. ඒ නිසා හාමු නැවත ලොකු පප්පා වීමට නම් "සමනලයා තටු සැලීමේ න්‍යාය" භාවිතා කළ යුතුය. මීට පෙර ඇතිවූ "මහා නිර්පාක්ෂික සාමකාමී වලිය" අවසන්වූ පසු ඇතිවූ අවිනිශ්චිත තත්වයද හාමු විසින් සාර්ථකව භාවිතා කරමින් අති විශාල බියක් ඇතිකර හාමුට ජීවිතේට සපෝට් නොකරන අයගේ සහයෝගයෙන් බලය ලබා ගනිමින් ලොකු පප්පා විය. එදා චන්දය දුන් බොහෝ දෙනෙක් අපි මොන මගුලක් කලාද, මේක මෙහෙමනේ කරන්න තිබ්බේ යයි සිතමින් වෙන කරන්න දෙයක් නැති නිසා හාමුටම චන්දය දෙමින් සිටින ආකාරය අපට දැක බලාගත හැක. 

සමනලයා තටු සැලීමේ න්‍යාය භාවිතා කරන අකාරය පහත දැක්වෙන ආකාරයට සරල පියවර 4කින් දැක්විය හැක. 

  • පුද්ගලයෙක්, කණ්ඩායමක් හෝ සමාජයක් තුල නොයෙක් මත ගැටුම් ඇතිකර අවිනිශ්චිත බව ඇති කිරීම
  • එක්වරම ඉතා විශාල බියක් ඇති කිරීම 
  • එම තත්වය තුල ඉතාම මෘදුව සහ විශ්වාසනීය ආකාරයෙන් ඇමතීම මගින් තමන්ට අනුගත කර ගැනීම 
  • බලය ලබා ගත් පසු එය ඉතාම ඉක්මනින් කොන්සොලිඩේට් කර ගැනීම. මෙය සිදු නොකළහොත් වෙනත් කෙනෙක් බලය පැහැරගත හැක. 

මෙහි පලවන පියවරට විශාල කාලයක් ගතවුවද ඊළඟ පියවර තුන දින කිහිපයක් හෝ සති කිහිපයක් වැනි ඉතා කෙටි කාලයකදී සම්පුර්ණ කරගත යුතුය. මෙවැනි "හයිලි තියරිටිකල් කන්සෙප්ට්ස්" සැබෑ ජීවිතයේදී සාර්ථකව භාවිතා වන ආකාරය දැක බලා ගැනීමට ලැබීම අප ජිවිතේ ලබන ඉමහත් භාග්‍යකි. 


Saturday, June 3, 2023

රෙජීමය යනු කුමක්ද?

 රෙජීමය යනු මහමොලකරුවන් තුන්දෙනා, සමිති පහ සහ ඔවුන්නොවුන් අතර සහසම්බන්ධය වේ. ගෝල් දේශය සහ රෝමය අතර නිදහස් වෙළඳාමට බාධකය ලෙසද රෙජීමය පෙනීසිටී. ගෝල් දේශයේ සංවර්ධනයට ලොකුම බාධාව වී ඇත්තේද රෙජිමයයි. මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යනය කරමු. 

1. වැඩ නොකරන සමිතිය 

වැඩ නොකර සමිතිය යනු ගම් සභාවේ කඩ සහ ඒවායේ වැඩ කරන පප්පන්ගේ එකතුවයි. මහා මොලකරු විසින් වැඩ නොකරන සමිතියේ රැකියාවක් ලබාදීම මගින් හරක් පප්පෙක් වහල් පප්පෙක් බවට පරිවර්තනය කල හැක. වහල් පප්පන් යනු මහා මොලකරුගේ කැම්පේන් එකේ බර උසුලන ශුරයෙකි. මේ සඳහා සමිතිය මගින් වහල් පප්පන්ට පඩි සහ දීමනා දෙයි. වැඩ ලබා නොදෙයි. දීමට වැඩද නොමැති අතර, වැරදිලාවත් වැඩක් තිබ්බත් වැඩනොකරන වහල් පප්පන් ඒවා කරන්නේවත් කරන්න දන්නේවත් නැත. මහා මොලකරු විසින් රැකියා සහ වරප්‍රසාද ලබා නුදුනහොත් වැඩ නොකරන වලි සිදුකිරීම, කැම්පේන් නොකිරීම, වෙනත් මහා මොලකරුවෙකුට කඩේ යාම වැනි දේ සිදුකරයි. ඒ නිසා බලය ලබා ගැනීමට නම් දිගටම රස්සාවල්, පඩි වැඩිවීම් වැනිදේ කල යුතුය. ඒ වෙනුවෙන් වැඩ නොකරන සමිතිය දිගටම කඩේ යයි. 

2. ගලවා ගැනීමේ සමිතිය 

ඉතාම භයානක සහ වැඩිම බලයක් ඇති සමිතිය ගලවා ගැනීමේ සමිතියයි. මොවුන්ට එක රැයින් ඇනකොටා ගැනීමේ වලි සහ යුද්ධ ඇති කිරීමට හැකිය. ඒ විතරක් නොවේ. මොවුන්ට ඕනෑම පුද්ගලයෙක්, කණ්ඩායමක්, සමාජයක්, ජාතියක් හෝ ආගමක් දේශද්‍රෝහීන් බවට පත්කර අපාගත කිරීම, දඬුකදේ ගැසීම, උල තැබීම හෝ ජිවත් විය නොහැකි තත්වයට පත් කිරීම කල හැක. මොවුන් විවිධ ආගම් සහ ජාතින් වශයෙන් නොයෙක් යුනිෆෝම් ඇඳ පෙනී සිටියද එකම අරමුණකට එකට ඩිල් දමා ක්‍රියා කරන, කණ්ඩායමක් ලෙස දඩයමේ යන සමිතියකි. මොවුන් ස්වාභාවිකවම පරපෝෂිතයන් වේ. කිසිදා රැකියාවක් නොකර අනුන්ගෙන්ම කා, කන්න දෙන එවුන්ටම කෙළියි. වැරදිලාවත් අපායක් තිබුනේ නම් එහි ෆස්ට් ක්ලාස් ටිකට් එකක් ලැබිය යුතු පුද්ගලයන්ය. මොවුන්ගේ කාර්ය වන්නේ බොරු දේශනා කිරීම, වොයිස් කට් දීම, මහා මොලකරුට කඩේ යෑම සහ කන්න දෙන එවුන්ට කෙලවිමය. මොවුන් මහා මොලකරුගේ ඉමහත් ගුණය දෙසා බා හරක් පප්පන්ගේ මොළ හෝදයි. තවද ආගම, ජාතිය, කිරි හරකුන්, මිරිදිය මාළු සහ රිලවුන් වැනි දේ ගලවාගැනීමේ කැම්පේන් කරයි. ඒ වෙනුවෙන් මහා මොලකරු විසින් නොමිලේ විදුලිය, දේශන ශාලා, කහවනු වැනි පඬුරු ලබාදේ. තවද දේශනා වලට අනුග්‍රහය යාන වාහන, ඉඩම් වැනි දේ නොමිලේ හෝ කුනුකොල්ලෙට ලබා දේ. පඬුරු අඩු උනොත් වෙනත් මහා මොළ කරුවෙකුට කැම්පේන් කරයි. ඒ නිසා පඬුරු දීම සහ කැම්පේන් කිරීම දිගටම සිදුවේ. 

3. පාතාල සමිතිය 

මහා මොලකරුගේ කැම්පේන් සඳහා අත දිගහැර වියදම් කරන්නේ පාතාල සමිතියයි. ඒ වෙනුවෙන් ඔවුන්ට සර්වලෝක පත්තර වැනි ගම විනාශ කරන දේවල් ගෙන ඒමට නීතියේ රැකවරණය ලබා දේ. තවද කුලියට අපායට යැවීම, කප්පම් ගැනීම, තරහකාරයන් දඬු කඳේ ගැසීම වැනි දේවල් කලපසු ඒවා යට ගැසීමට උදවු කරයි. එසේ නොකලොත් වෙනත් මහා මොලකරුවෙකුට සපෝට් කරයි. ඒ නිසා මේ වැඩේ දිගටම සිදුවේ. 

4. TV/කීබෝඩ් විරු සමිතිය 

මහා මොලකරුගේ කැම්පේන් නිර්මාණය කිරීම, ප්‍රචාරය කිරීම, තරහකාරයන්ට මඩ ගැසීම වැනි දේ සිදු කරන්නේ මොවුන්ය. බොහෝවිට ගම් සභා ඇති කිරීම සහ නැති කිරීම සිදු කරන්නේද මොවුන්ය. මොවුන් අති දක්ෂ ඉතා ඉහල බුද්ධි මට්ටමක් ඇති පුද්ගලයන්ය. බොහෝවිට ගලවා ගැනීමේ සමිතිය සමග සහයෝගයෙන් කටයුතු කරයි. මොවුන්ට එක රැයින් උපාසකයෙක් හොරෙක් කිරීමටද, ඕනෑම පල් හොරෙක් උපාසකයෙක් කිරීමටද හැකිය. මේ වගේ බලු වැඩ සිදු කිරීම වෙනුවෙන් මහා මොලකරු විසින් මොවුන්ට නොයෙක් සයිඩ් බිස්නස් කිරීමේ පර්මිට් ලබා දීම සිදු කරයි. තවද ගම්සබාවේ උත්සව විකාශය කිරීමේ පර්මිට්, ඒවාට සංගීතය දීමේ පර්මිට්, බාර් ලයිෂන්, ඇටබෝල තරඟ විකාශය කිරීමේ පර්මිට් වැනිදේ ලබා දේ. ඒවා නොකලොත් වෙන එකෙකුට කඩේ යන නිසා වැඩේ දිගටම සිදුවේ. 

5. අන්තර් ජාතික විශ්ව විද්‍යාල ළමා සමිතිය 

මොවුන් මහා මොලකරුවන්ගේ රැස්වීම් වලට සෙනග ගෙන ඒම, "කපා කපා මාලුකපා අපිට එපා" කියමින් කෑ කෝ ගැසීම, වැඩ නොකරන දිනය වෙනුවෙන් සංදර්ශන කිරීම වැනි දේ සිදුකරයි. මොවුන්ගේ අනිත් ප්‍රධාන කාර්යය වන්නේ හරක් පප්පන්ගේ ගහනය වැඩි කිරීමට දායක වීමය. ඒ සඳහා මොවුන් අධ්‍යාපනය ලබා දීමට විරුද්ධ වේ. අලුතෙන් ඉස්කෝල අරින්න හැදුවොත් අධ්‍යාපනය විකුණනවා යයි වලි දමයි. ඒ විතරක් නොවේ. ආචාර්ය පප්පන්ගේ කනට ගැසීම, ගෙවල් කුඩු කිරීම, උප කුලපති පප්පාට කුණුහරුප කියා බැනීම සිදුකරයි. වැඩියෙන්ම අධ්‍යාපනයට වල කපන සහෝදරයා සමිතියේ ලොක්කා කරයි. මිට පෙර ලොක්කා වුයේ වසන්ත මුදලාලි උපාසක මහතාය. ඊට පසු උප කුලපති පප්පාට කුණුහරුපයෙන් බැනපු උපාසක මහතෙක් ලොක්කා කර ගත්තේය. මෙම සමිතියට මහා මොලකරු විසින් නොමිලේ හැම මගුලම ලබා දී තව සල්ලිත් දෙයි. අවුරුදු දහයක් හිටියත් අස් නොකිරීම, පලිගැනීම්, මානසික රෝග සහ නොයෙක් ඇරියස් කවර් කර ගැනීම සඳහා නවක  පප්පන්ට සහ විරුද්ධවාදීන්ට වධදීමේ පර්මිට් ලබා දීම, ඒවා ගැන අස් කන් වහගෙන සිටීම වැනි දේ සිදුකරයි. ඕවට අත දාන්න ආවොත් වෙන එකෙකුට කඩේ යැමට ඉඩ තිබෙන නිසා මුකුත් නොකරයි. 

මේ ආකාරයට මහා මොලකරුවන්ට චන්දය දිනීමට නම් සමිතිවල කැම්පේන් අත්‍යාවශ්‍ය වේ. ඒ වගේම සමිතිවලටත් මහා මොලකරු අත්‍යාවශ්‍යය. ඒ නිසා මහා මොළකරුවන් හා සමිති අතර එකිනෙකාගෙන් යැපෙන  coexistence එකක් ඇත.  මෙම සහසම්බන්ධතාවය ඉතාම ශක්තිමත් සහ බිඳ දැමිය නොහැකි එකකි. එම නිසා රෙජීමය ඉතාම ශක්තිමත් වේ. 

රෙජිමයට පිටින් කෙනක් පැමිණ චන්දයක් දිනා ගැනීම කිසිසේත්ම කළ නොහැක. ඔබ මාර්ක් දෙවියා පිළිගන්නේ නැත්තන් මුලින්ම අන්තර් ජාතික විශ්ව විද්‍යාල ළමා සමිතිය සහ වැඩ නොකරන සමිතිය අවි අමෝරාගෙන එයි. වැරදිලාවත් මාක් දෙවියන් පිළිගත්තත් ඔවුන්ට එකතු වෙන ලෙස තර්ජනය කරයි. එසේ නොකලොත් ලේබල් ගහයි. ඒක කොහොමහරි ඉවසගෙන හිටිය කියමු. ඒත් ඉතින් කහවනු නැතුව මුකුත් කරන්න බැනේ. හොඳයි අපි කහවනු තිබ්බ කියල හිතමු. එත් TV/කීබෝඩ් විරුවන් නැතුව මුකුත් කල නොහැක. ඔවුන් විසින් මඩ ගසා විනාස කරනු ලබයි. එහෙනං විරුවන් කහවනු දීල ගත්ත කියල හිතමු. ඒත් පාතාල සමිතියෙන් බේරීම අපහසුය. ඔවුන් ඔබව අපායට යැවීමට හෝ අවුරුදු 10ක් දඬු කදේ ගැසීමට පුළුවන්. හොඳයි අපි එයාලවත් කහවනු දීල ගත්ත කියල හිතමු. එහෙම කලද ගලවාගැනීමේ සමිතියෙන් බේරීමට ඉතා අපහසුය. කිවිසුමක් ගියත් ආගම, ජාතිය සහ කිරි ගවයන්ගේ සිත රිදුනා කියාගෙන රෙද්ද උස්සන් පන්නාගෙන එයි. අනේ ඉතින් මොනවා කරත් මොකක් හරි සමිතියක් බස්සවා ඔබව විනාස කරනු ලබයි. ඔවුන්ටම ගැලපෙන හරක් පප්පන් අම්බානකට ඉන්න නිසා පොඩ්ඩක් කැම්පේන් එක ඉස්සුවොත් ඉතිරි ටික ඔටෝ දුවයි. 

හොඳයි අපි මෙහෙම හිතමු. කහවනුත් අම්බානකට තිබිල ඔය සමිති පහෙන්ම ලොකු කැලි පහක් කහවනු දීල අරගෙන කැම්පේන් එකක් කරලා ලොකු පප්පා උනා කියල. අනේ ඉතින් වැරදිලාවත් එහෙම උනත් ඊට පසු සමිති කියන විදියට වැඩ කල යුතුය. නැත්තන් ලොකු පප්පා කියා බලන්නේ නැතුව කෙලවෙන්නම ගහයි. ඒ නිසා ඔවුන් කියන විදියට වැඩ කිරීමට සිදුවේ. අනේ ඉතින් එතකොට ඔබෙත් මහා මොළකාර පප්පන්ගේත් වෙනස මොකද්ද?. ඔබත් රෙජිමයේම කෙනෙක් බවට ඉබේම පත්වී තවත් මහා මොළ කාරයෙක්ම පමණක් වේ. ඒ නිසා පප්ප ගමට සදාකාලිකවම කෙලවේ.   


Friday, June 2, 2023

රෙජීමය සහ බල තුලනය

 පප්ප ගමේ බලය බෙදී ඇති ආකාරය සටහන 1 හි දැක්වෙන පරිදී ස්ථර තුනකට බෙදී ඇත. 

  1. රෝමය 
  2. රෙජීමය 
  3. ගෝල් දේශය 

රෝමය යනු භාරතය, චීනය ඇතුළු ජාත්‍යන්තරයයි. රෙජීමය මහ මොලකරුවන් සහ සමිති පහෙන් සමන්විතවේ. ගෝල් දේශය වහල් පප්පන්, දායක සභාව සහ හරක් පප්පන් ගෙන් සමන්විතවේ. පප්ප ගමේ අනාගතය තීරණය වෙන්නේ රෙජීමය සහ එහි බල තුලනය අනුවය.  


පප්ප ගමේ අය හිතාගෙන ඉන්නේ හාමු මහත්හොරු, මහා හොරකල්ලිය සහ කයියනායක සහෝදරහොරු යනු ඇණකොටා ගන්නා අය කියාය. ඒ වගේම සමිති පහ එකිනෙකාට සම්බන්ධ නැති බව සිතයි. තවදුරටත් ඔවුන් සිතාගෙන සිටින්නේ වැඩ නොකරන සමිතිය සහ අන්තර් ජාතික විශ්ව විද්‍යාල ළමා සමිතිය කයියනායකට අයිතිවී, ගලවාගැනීමේ සමිතිය සහ TV/කීබෝඩ් විරු සමිතිය මහා හොරපප්පාට අයිතිවී, පාතාල සමිතිය මහා හොර පප්පා සහ හාමුට අයිති බවය.  නමුත් ඇත්ත බල තුලනය සටහන 2 මගින් පැහැදිලි කල හැක. 

මහා හොර කල්ලිය, හාමු මහත්හොරු සහ කයියනායක සහෝදරහොරු එකිනෙකා අතර බලය ලබා ගැනීමේ පැහැදිලි තරගයක් ඇත. නමුත් බලය තුලනය වී ඇති ආකාරය අනුව තනිවම බලය ලබා ගැනීම අපහසුය.  ඒ නිසා බොහෝවිට දෙදෙනෙක් එකතුවී දමන ඩිල් එක අනුව බලය ලැබේ. මෙවැනි ඩිල් සටහන 2 හි දක්ක්වෙන ආකාරයට සෑම දෙදෙනෙකු අතරම ඇත. ඒ විතරක් නොව, සෑම මහා මොලකරුවෙක්ම සියලුම සමිති සමග ඩිල් ඇත. අනේ ඉතින් ඒ විතරක්ම නොවේ. ඕනෑම සමිතියක් අන් සියලු සමිති සමගද ඩිල් ඇත. 

කැම්පේන් සිදු කිරීමේදී මහා මොළකරුවන් කිහිප දෙනෙක් සහ සමිති කිහිපයක් එකාබද්ධ වේ. එයට විරුද්ධ කැම්පේන්ද එකක් හෝ කිහිපයක් තිබේ. සමහර වෙලාවට එකම කැම්පේන් එකේ කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ග කාලින වර්ශන්ස් එකිනෙක සමාන්තරව රන් වෙන වෙලාවල්ද තිබේ. උදාහරණයක් වශයෙන් හාමු 2024දී ලොකු පප්පා කරන කැම්පේන් එක රන් වෙන වෙලාවටම අන්රයියා හෝ මල් කුමාරයා 2030දී ලොකු පප්පා කරන කැම්පේන් එකත් එකම ටීම් එකකින් සිදුකරයි. බාගයක් දුරට එකට කැම්පේන් කර එක තැනකදී බෙදී යෑමේ අරමුණ ඇතුව සිදු කරන කැම්පේන්ද ඇත. උදාහරණයක් වශයෙන් හාමුට ප්‍රතිසංස්කරණ කිරීමට ඉඩ දීම සඳහා අන්රයියා විසින් පප්පන් ගාල් කර වලි ඇති නොවීමට ඉඩ දීමේ කැම්පේන් එක දැක්විය හැක. ඒ සඳහා හාමු විසින් අන්රයියාට සියලු අනුග්‍රහය සැපයීමේ ඩිල් එකක් දමයි. වෙලාව ආවාම කට්ටිය වෙන්වේ. බලාගෙන ඉන්න හරක් පප්පලාට මොනවා වෙනවද කියල හිතා ගන්නවත් බැරිය. අවධානය වෙනස් කිරීමේ කැම්පේන්ද ඇත. කොහේවත් නැති රිලවෙක් හෝ කිරි හරකෙක් ගෙනැවිත් නටන බයිලා වැනි කැම්පේන් මේවාට උදාහරණ වේ. මේවා ඉතා කෙටි කාලීන වේ. 

අනේ ඉතින් පොසිටිව් සහ නෙගටිව් ලෙස කැම්පේන් ලෙස වර්ග දෙකක්ද ඇත. නෙගටිව් කැම්පේන් රන් කරන්නේ මාධ්‍ය කාලීන සහ දීර්ග කාලීන අරමුණු සඳහාය. එහි බලාපොරොත්තුව අලුත් ඩයල් එකක මුහුණ ප්‍රසිද්ධ කරවීම සහ අනාගතයේදී පොසිටිව් වෙන වෙලාවට පාවිච්චි කිරීමය. බොහෝ විට නෙගටිව් කැම්පේන් කීපයක් එක විට විවිධ පුද්ගලයන් මගින් විවිධ සමිති හරහා රන් කරයි. අවශ්‍ය කාලය ආවිට ඒ අතරින් වඩාත්ම ගැලපෙන topic එක මාකට් කරයි. මඩ කැම්පේන් නමැති ජාතියක්ද ඇත. මඩ කැම්පේන් කිරීමට සමිති කිහිපයක කෝඩිනේෂන් එක අවශ්‍යය. උදාහරණයක් වශයෙන් ගලවාගැනීමේ සමිතිය සහ TV/කීබෝඩ් සමිතියේ ඇටැක් එකක් දැක්විය හැක. මඩ කැම්පේන් වලද නෙගටිව් කැම්පේන් ඇත. තමන්ටම මඩ ගසා ගෙන වෙලාව ආවාම ඒ මඩ යුස් කරයි. උදාහරණයක් වශයෙන් ජාතිය ගලවාගන්න ගොස් ඉල්ලන් කෑ පසු, ඒ මඩ ටික ජාතික වලියකදී මාකට් කිරීමයි. අන්ඩර් කවර් කැම්පේන් කියා ජාතියක්ද ඇත. උදාහරණයක් වශයෙන් ප්‍රබල කෙනෙකුගේ ඉත්තෙක් ලෙස මතයක් සැදීමට ඉඩ දීමය. එසේ කිරීමෙන් සතුරන්ගෙන් ආරක්ෂාවී සිටිය හැක. වෙලාව ආවිට ඉත්තෙක් නොවන බව පෙන්වමින් පහර දේ. අනුන්ගේ කැම්පේන් හයිජැක් කිරීමද නිතර සිදුවේ. එම කැම්පේන් එකේ ලොක්කා කහවණු වලට ගැනීම, කැම්පේන් එක ඇතුලට මුල සිටම ට්‍රොජන්ස් ලා දමා වෙලාව ආවාම ඇක්ටිවේට් කිරීම වැනි ක්‍රම භාවිතා වේ. 

කැම්පේන් සඳහාම සෑදූ ෆේක් ප්‍රොෆයිල්, පක්ෂ, සමිති වැනි දේ ඇත. ඒවා වෙලාව ආවාම ඇක්ටිවේට් කරයි. මීට අමතරව මත ජනගත කිරීමේ කැම්පේන් කියා ජාතියක් ඇත. උදාහරණයක් වශයෙන් ඉස්සර තිබු "සුදු නෙලුම්" කැම්පේන් එක, "හොරා කාපු සල්ලි ගේමු" කැම්පේන් එක දැක්විය හැක. වැඩේ හරි ගියොත් මාකට් කරයි. අවශ්‍යනම් මත හෝ ප්‍රතිපත්ති කහවනු වලට මිලදී ගත හැක. මේවාට අමතරව තවත් නොයෙක් කැම්පේන් ඇත. බොහෝවිට කැම්පේන් විශාල ප්‍රමාණයක් සමාන්තරව රන් කර, අදාළ කාලයට මාකට් කරන්න පුළුවන් ඒවා තෝරා ගනී. ගෝල් දේශයේ පප්පන්ට මොලේ කලඳක් වත් නැති නිසා අනිවාර්යයෙන්ම කැම්පේන් රැල්ලට අසුවී ගසා ගෙන යයි. ඒක නවත්තන්න නං සීසර් අයියාට වත් බැරිය. 





Thursday, June 1, 2023

ගම් පාලනයේ ව්‍යුහය

 පප්ප ගමේ පාලනය පහත සටහනේ දැක්වෙන ආකාරයට පිරමිඩාකාර ව්‍යුහයක් ගනී. පිරමිඩය ප්‍රධාන වශයෙන් ස්ථර 4කින් සමන්විතය. 

  1. මහ මොලකරු 
  2. කැම්පේන් මැනේජර් 
  3. බර උසුලන ශුරයා 
  4. බත් කන හරකා  

1 වන ස්තරය : මහ මොලකරු 

පප්ප ගමේ මහ මොළ කරුවන් කොටස් 3කට බෙදිය හැක. 

  • හාමු මහත්හොරු 
  • මහා හොර කල්ලිය 
  • කයියනායක සහෝදරහොරු 

"හාමු මහත්හොරු" යනු රදළ පැලැන්තිය සහ වැඩ වසම් ක්‍රමය පවත්වා ගැනීම වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ය. ඔවුන් පොහොසත් වන අතර හොරකම් කරන්නේ නිතියට අනුවය. නීති නැත්තම් නීති හදා ඒවාට අනුව හොරකම් කරයි. ඔවුන් ස්මාට්, ප්‍රසන්න, රෝමන් භාෂාව කතා කරන පුද්ගලයන් වේ. උදාහරණ වශයෙන් හාමු සහ සැටලයිට් දැක්විය හැක. "මහා හොර කල්ලිය" මහ දවාලේ හොරකම් කරයි. ඕනෑම බලු වැඩක් බල්ලන්ටත් වඩා හොඳට කරයි. උදාහරණ වශයෙන් මහා හොර පප්පා,  හිටන් හුටන් දැක්විය හැක. "කයියනායක සහෝදරහොරු" යනු මාර්ක් දෙවියාගේ ආගම පැතිරවීම සඳහා කැපවී සිටින පිරිසක්ය. ඔවුන් කිසිදා රැකියාවක් නොකර අනුන්ගෙන් පිනට කා අනිත් යටත් පිනට කන්නට උපදෙස් දෙයි. පිනට කෑම සඳහා වැඩ නොකරන වලි ඇතිකිරීම මගින් ධනය, කාලය පමණක් නොව අධ්‍යාපනයද කයි. මොවුන්ට උදාහරණ වශයෙන්ම අන්රයියා, ටිං ටිං අන්කල් වැනි අය දැක්විය හැක. මහ මොළකරුවන් හැමෝටම පොදු ලක්ෂණයක් වන්නේ ගම කෑමය. 


2 වන ස්තරය : කැම්පේන් මැනේජර්

මොවුන් මහ මොලකරුගේ කොන්ත්‍රාත් එකක් ගෙන කැම්පේන් කරයි. ඒ වෙනුවෙන් පගාව ලබා ගනී. ගමේ කැම්පේන් කිරීම සඳහා හැදු ප්‍රධාන සමිති  5ක් ඇත. 

  • TV/කීබෝඩ් විරු සමිතිය 
  • ගලවා ගැනීමේ සමිතිය 
  • පාතාල සමිතිය 
  • අන්තර් ජාතික විශ්ව විද්‍යාල ළමා සමිතිය 
  • වැඩ නොකරන සමිතිය 

"TV/කීබෝඩ් විරු සමිතිය" යනු මාධ්‍ය හා සමාජ මාධ්‍ය අවභාවිතා කර මොළ හේදීම සිදු කරන සමිතියයි. ඔවුන් ඉතිහාසය හැදීම/මැකීම, විරුවන් හැදීම, ද්‍රෝහීන් හැදීම, ජාත්‍යන්තර කුමන්ත්‍රණ හැදීම වැනිදේ සිදුකරයි. "ගලවා ගැනීමේ සමිතිය" යනු ගලවා ගැනීමේ මුවාවෙන් අලවා ගැනීමට පිහිටවූ සමිතියයි. ජාතිය, ආගම පමණක් නොව අවශ්‍යනම් කිරි ගවයන්, එළුවන් වුවද ගලවා ගනියි. මොවුන් අති විශාල විනාසයක් කල හැකි භයානකි සමිතියකි. "පාතාල සමිතිය" යනු අන්තරස්ධාන කිරීම සඳහා සැදූ සමිතියයි. ඔවුන් සුදු පාට වැන් පාවිච්චි කරයි. මහ දවල් අපායට යැවීමේ සිට, ගඟේ පා කිරීම, ආයුධ පෙන්නන්නට යාම, රථ වාහන ගිනි ගැනීම වැනි ක්‍රම අනුගමනය කරයි. "අන්තර් ජාතික විශ්ව විද්‍යාල ළමා සමිතිය" යනු අධ්‍යාපනය ගලවා ගැනීම සඳහා එය අනුභව කිරීමට පිහිටුවාගත් සමිතියයි. ඔවුන්ගේ අරමුණ අධාපනය දීමට විරුද්ධ වීම, ආචාර්ය පප්පන්ගේ කනට ගැසීම, පාර දිගේ කෑ කෝ ගෑම වැනි දේවල්ය. ඔවුන්ගේ වැඩ සිඟිති වුවද හරක් පප්පන්ගේ ගහනය අඛණ්ඩව වැඩි කිරීමට විශාල දායකත්වයක් සපයන සමිතියකි. "වැඩ නොකරන සමිතිය" යනු තමන්ට පමණක් නොව අනුන්ටද වැඩ කිරීම වැලැක්වීම සඳහා පිහිටුවාගත් සමිතියයි. මොවුන් කරන්නේ මුකුත්ම නොකර ඉඳහිට කෑ කෝ ගැසීම පමණි. හරිම සරල සමිතියකි. 


3 වන ස්තරය : බර උසුලන ශුරයා 

මොවුන් සිදු කරන්නේ සමිතිය මගින් හදා දෙන කැම්පේන් එක උස්සාගෙන යාම සහ බෙදා හැරීමය. කැම්පේන් එකේ බර උසුලන්නේ මොවුන්ය. මොවුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. 

  • වහල් පප්පා 
  • දායක සභාව 

"වහල් පප්පා" යනු ඉහත සඳහන් සමිති පහෙන් ඕනෑම එකකින් පඩි ලැබෙන පුද්ගලයන් වේ. පඩි ලැබීම නිසා ඔවුන් සමිතියේ නියෝග පිලිපදී. "දායක සභාව" යනු පඩි නොගෙන සේවය කරන පිරිසකි. ඔවුන් බොහෝවිට බාගෙට උගතුන්ය. මොවුන් ඕනෑම දෙයක් වෙනත් ඕනෑම දෙයක් වියහැකි බව තර්කයෙන් පැහැදිලි කරයි. ඒවා දකින බත් කන හරකුන් පස්වනක් ප්‍රීතියට පත්ව උම්බෑ කියයි. ලෝකයා සිනා වෙයි.  


4 වන ස්තරය : බත් කන හරකා  

පප්ප ගමේ 95%ක් පමණ සිටින්නේ බත් කන හරක් නොහොත් හරක් පප්පන්ය. හරක් පප්පෙක් හැදීමට භාවිතා කරන්නේ අධාපනය නොදීම හෝ යල් පැන ගිය අධාපනයක් දීමය. ඊට අමතරව දේශනා දීම, මොලෝ රහක් නැති ටෙලි මගුල්, සංගීත පෙන්වීම, කීබෝඩ් එකක් ලබා දීම වැනි දේද සිදු කල හැක. මොවුන්ගේ කාර්ය වන්නේ තමන්ට ලැබෙන කැම්පේන් එක ගෙඩිය පිටින් ගිලීමය. කැම්පේන් එක ගිලීමෙන් පසු රැලි ඇතිවේ. හරක් පප්පන් රැලි වලට ගසා ගෙන යයි. රැල්ලේ ගසාගෙන ගොස් චන්දය දී හුල්ලයි. මිට පස්සේ නන් ජීවිතේට රැවටෙන්නෙ නෑ කියයි. ආපහු කැම්පේන් එක ගිල රැල්ලේ ගසා ගෙන යයි. මේ සයිකල් එක අවුරුදු පහෙන් පහට රිපීට් වෙයි. 



Tuesday, May 30, 2023

තුරුම්පු නැතුව 304 ගහමු

 අනේ ඉතින් පප්ප ගමේ ලොක්කා හාමුය. හාමු ලොකු පප්පා උනේ මහා හොර පප්පාව බේරා ගන්නා බවට පොරොන්දු වීම නිසාය. එහෙම කිව්වට හාමුට හොර පප්පාව ගොඩ දාන්න තරන් මැන්ටල් නැත. හාමුට තියෙන්නේ වෙනම ගේමකි. හාමුගේ අන්තිම අරමුණ පප්පලාගේ චන්දෙන් ලොකු පප්පා වී රිවෙන්ජ් එක ගැනීමය. ඒකත් එක පාරක් නොව දෙපාරකි. දෙපාරක් චන්දෙන් දිනා අවුරුදු 14ක් ලොකු පප්පා වී රෙකෝඩ් එකක් තැබීමය. එහෙම කොහොමද කරන්නෙ, දෙපාරකට වඩා බෑනේ වගේ මැන්ටල් කතා අහන්න එපා. ඒක එහෙම තමයි. අනේ ඉතින් එහෙම උනාට  මාධ්‍ය පප්පන්, නිලධාරි පප්පන්, දේශනා පප්පන් සහ එකී මෙකී නොකී හොර කල්ලිය ඉන්නේ මහා හොර පප්පා එක්කය. හරක් පප්පන් ඉන්නේ කයියනායක ළඟය. වහල් පප්පන් ඉන්නේ මහා හොර පප්පා, අසමගි පුතානෝ සහ කයියනායක ළඟය. අනේ ඉතින් එතකොට හාමුට තුරුම්පු නැතිව ගේම් එක ගහන්නෙ කොහොමද? 

තුරුන්පු නැතුව 304 ගහන එක ක්‍රමයක් ඇත. ඒ අඩුම කොලයට තුරුම්පු කියා වැහීමය. එතකොට තමන්ට ඇර අනිත් හැමෝටම තුරුම්පු ඇත. කවුරුවත් එව තුරුම්පු කියල දන්නෙ නැති නිසා මුල ඉඳලම කෙල ගනී. ඔක්කොම තුරුම්පු ඉවර උනාට පස්සෙ වහපු කොලෙන් කපල, හතේ අටේ කොළ වලින් වාසි ගහයි. හාමුත් මේ දවස් වල ඔය වගේ ගේමක් ගහයි. වටේම කට්ටිය ලොකු ලොකු තුරුම්පු දමල ගහයි. ඒවාට පොඩි පොඩි අය හේදිලාම යයි. වාසනාවන්තයන් හිරේ ගිහින් පන බේරා ගනී. අවාසනාවන්තයන්  අපාගත වේ. හාමුට විශේෂයෙන් කරන්න දෙයක් නැති නිසා එයාගෙ වැඩ ටික කරගෙන යයි. පොඩි පොඩි අය හෝදල දැම්මට පස්සේ ලොකු ලොකු අය කෙල ගන්න පටන් ගනී. වහල් පප්පන් කැම්පේන් එක උස්සන් දුවයි. හරක් පප්පන්ට මොලේ නැති නිසා දෙපැත්තට බෙදිල මරා ගනී. අන්තිමට දෙපැත්තටම හොඳටම තුවාල වී හති වැටේ. වහල් පප්පන් ටිකට කෙලවෙලාම යයි. හරක් පප්පන් තුෂ්නිම්භූත වේ. ඔන්න ඔය වෙලාවට හාමු එක පාරටම මතුවේ. එතකොට හරක් පප්පන්ට මෙහෙම හිතෙයි. 

  • හොරුන්ගෙන් ගම බේරගන්න නීති ක්‍රියාත්මක කරේ හාමු නේද 
  • වලි කාරයන්ගෙන් රාජ්‍ය බේරගන්න නීති ක්‍රියාත්මක කරේ හාමු නේද 
  • ආගම, ජාතිය ගලවාගන්න නීති ගෙනාවේ හාමු නේද 
  • සමාජ මාධ්‍ය වලින් ගමේ සංස්කෘතිය විනාස වෙන එක නවත්තන්න නීති ගෙනාවේ හාමු නේද 
  • සියලු ගම් වැසියන් හොරුන්ගෙන් සහ කයියන්ගෙන් බේරා ගත්තේ හාමු නේද
අනේ ඉතින් චන්දෙ දිනන්න ඔය ටිකම ඇති. තවත් ඕනනං අම්බානට තියනවා, 

  • ගමට කෙලවිලා තියෙද්දි ගම බාර ගත්තෙ හාමු නේද 
  • රෝමන් කාරයොත් එක්ක ජ්‍යාතන්තර සම්බන්ධතා ඇති කර ගත්තේ හාමු නේද 
  • ගම බංකොලොත් බවින් මුදවා ගත්තේ හාමු නේද 
  • කහවනු ශක්තිමත් කරේ හාමු නේද 
  • පෝලිම් නැති කරේ හාමු නේද 

දැන්නන් චන්දෙ දෙන්න හේතු ඕනෑවටත් වැඩියි නේද. වැඩියි කිව්වට ඕනනං බැකප් එකට තව තියනවා. චන්දෙ දවස කිට්ටු කරලා "අවුරුද්දක් විතර කරපු මහා පරිමානයේ මෙහෙයුමක ප්‍රතිපලයක් විදියට" ලොකු හොර පප්පෙක් ඇල්ලුවොත් කොහොමද. කයියන්න්ගේ ලොකුම කොළෙත් හාමුගේ අතේ. 

  • හොරු අල්ලපු හාමු හොඳයි නේද 
  • කයිය නැතුව වැඩ කරන හාමු හොඳයි නේද 
  • හොරුත් එක්ක බොරුවට ශේප් එකේ ඉඳලා හොර ගෙඩිය වගේ බෙල්ල මුලිම්ම අල්ල ගත්තනෙ. හාමු කියන්නේ මොළ ගේන නැවක්. 

අනේ ඉතින් ඔය වගේ අඩුම වියදමකින් වැඩි කරදරයක් නැතිව වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හාමුට ජය වේවා. 


Saturday, May 20, 2023

ෆිල්ම් බලමු : ගම ගලවා ගැනීම Part 2

 මේ දිනවල පප්ප ගමේ "ගම ගලවා ගැනීම Part 2" ෆිල්ම් එක සාර්ථකව තිරගත වේ. 2019 දී බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් ලක්ෂ 69ක අදායමක් වාර්තා කල "ගම ගලවා ගැනීම" ෆිල්ම් එකේ දෙවන කොටසය. අධක්‍ෂණය මහා හොර පප්පාය. නිෂ්පාදනය හාමුය. කතාවේ ආරම්භය මෙසේය. 

කොල්ලගේ පවුල පොහොසත්ය. කෙල්ලගේ පවුල දුප්පත්ය. කොල්ලා දිවැසින් බණ කියයි. කොල්ලා බණ කියන ගමන් කෙල්ලගේ පවුලේ අය ලයිට් එකක් හොය හොය ගිය කතාවක් කිවේය. අනේ ඉතින් එයාල දුප්පත් නිසා ලයිට් නෑනේ. ලයිට් තියෙන්නෙ අපේ වලව්වේ විතරනෙ, ඉතින් එයාල හෙවුවෙ අපේ වලව්වෙ ලයිට් එක තමයි කියා කින්ඩියක් දැම්මේය. එකට කෙල්ලගේ නෑයන්ට මල පැන්නේය. අපි හොයපු ලයිට් මගුලක් නෑ. මෙයාට පිස්සු කියා වොයිස් කට් දීගෙන දීගෙන ගියේය. ඒ අතර තායිලන්තයෙන් නෑදෑයන් කට්ටියක් ආවේය. ඒකට මළ පැන්න මහා පිස්සන්කොටුවේ ඉන්න "සෙල්ලන් රජා" කියන මැන්ටල් පප්පා, එහෙම එක එකාට මේ වැයික්කියට එන්න බෑ කියා වලියක් දැම්මේය.  ඊටත් වඩා මල පැනපු වොයිස් කට් සෙට් එකක් ඇනකොටා ගැනීමට ආවේය. අනේ ඉතින් කොහොම හරි ගේමක් දීල වැඩේ ශේප් කර ගත්තේය. අනේ ඉතින් මේ අලකලංචි මැද්දේ පප්ප ගම බංකොලොත් වෙලා අවුරුද්දක් ගිය එකේ සතුටට ගමේ හැම තැනම උත්සව පැවැත්වුනා. කනත්තේ උත්සවය වෙලාවට ඒක මැදට පැන්න ඩෑම්ෆූල් ප්‍රියසාදු මොකද්දෝ මගුලක් කියාගෙන ගිහින් ගුටි නොකා බෙරුනේ අනුනමයයි දශම නමයෙනි. 

ෆිල්ම් එක පටන් ගත්ත ගමන්ම ඇඟ කිලිපොලා යන සටන්ය. තව ටික කලක් යනකොට සටන් උත්සන්නවී, ඇන කොටා ගැනීම්, කඩු ෆයිට්, පුපුරවා ගැනීම් ඇතිවී, ඊට පසු නයි, පොලොන් දියබරි ඇතුළු එක එක සතුන් ගංගා දෙබෑ කරමින් මතුවේ. ඊට පසු ඔලු හතක් ඇති මකරුන්, වැඩිකරන විරුවන්, කයියනායක දෙවියන්, දියබරි කුමාරයන් වැනි සුපර් හීරෝස්ලා පඳුරකට පයින් ගැහුවත් මතුවේ. වැඩේ ක්ලයිමැක්ස් එකට ගියාම කෙල්ල සීන් එකට ඇවිත් මයිල් කෙලින් වන ප්‍රේම ජවනිකා පටන් ගනී. එතකොටම පප්ප ගමේ චන්දයක් ඇවිත් ෆිල්ම් එක ඉවර වේ.    

Thursday, May 18, 2023

ගව පාලනය

 පප්ප ගමේ හරක් පප්පන් ගොඩක් ඉන්න නිසා ගවපාලනයට විශාල වැදගත් කමක් ඇත. ගවයා මොලයක් නැති උනත් ඉතා අහිංසක සතෙකි. හැබැයි කන්න තණකොළ නැති උනාම ගාල කඩාගෙන හැම තැනම දුවයි.  තණකොළ ටිකක් හම්බුවුනොත් කාගෙන කාගෙන යයි. ඊට පස්සෙ කාපු ඒවා වමාරා කයි. ආපහු බඩගිනි උනාම හැම තැනම දුවයි. 

පප්ප ගමේ ගව පාලනය හොඳටම දන්නේ හාමුය. හාමු විසින් හරක් පප්පන්ට මෙච්චර කාලයක්දී සැරින්පු සැරේ දීපු තණකොළ පහත දැක්වේ. 

  1. වසන්ත මුදලාලි දඬු කඳේ ගැසීමේ නාට්‍ය - මාස 3යි
  2. කුඩා පිස්සන්කොටුවල චන්ද නාට්‍ය - මාස 3යි 
  3. ආච්චිගේ මළ ගෙදර යෑමේ නාට්‍ය - සති 2යි 
  4. නිදහසේ මුදට වෙඩි තැබීමේ නාට්‍ය - සති 1යි 
  5. පෙරහැර බලන්න නුවර යෑමේ නාට්‍ය - සති 2යි 
  6. 13ක් ගෙන ඒමේ නාට්‍ය - සති 2යි 
  7. සේපාලගේ ලබු ගෙඩියේ තොවිලය - මාස 1යි 
  8. ඇට (ATA) පනතේ නාට්‍ය - මාස 1යි 
  9. රිලවුන් රට යාමේ නාට්‍ය - සති 3යි 
  10. මහ රජ්ජුරුවො බලන්න රෝමෙට යාම - සති 1යි 
  11. නැවක් ගිලපු චාමර ගේ නාට්‍ය - මාස 1යි 
  12. දිවැසින් බණ කීමේ නාට්‍ය - සති 2යි 
  13. ආගම බේරා ගැනීමේ නාට්‍ය - මේ දිනවල තිරගත වේ 

අනේ ඉතින් පප්පන්ට මොලයක් තියනවනං කරන්න ඕන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ගම්සභාවට බලපෑම් කිරීමය. ඉතින් මොළේ පොඩ්ඩක් වත් නැනේ. මොලේ තිබ්බනං මෙච්චර කෙලෝගෙන පාප්ප ගම බංකොලොත් කර ගන්නෙත් නැනේ. ඉතින් හරක් පප්පල හාමු දෙන තණකොළ කාල, කාපුව ආපහු සති ගානක් වමාරා කනව. පප්ප ගමට කෙළ වෙනව. හැබැයි ඉතින් තණකොළ නැතුව ගාල කඩාගෙන දුවනවට වඩා මේ වැඩේ හොඳයි. හාමුට ජය වේවා. 

Tuesday, May 2, 2023

වැඩ නොකරණ පප්පලාගේ දිනය

 පප්ප ගමේ පප්පලා කොහොමත් වැඩ කරන්නේ නෑනෙ. ඒ නිසා වැඩ නොකරන දින 365ක් තියනව. අනේ ඉතින් එහෙම උනාම ගතියක් නෑනෙ. ඒ නිසා මුළු අවුරුද්දම මතක් වෙන්න කියල සංඛේතාත්මකව මැයි 1 වෙනිදා තෝරාගෙන වැඩ නොකරන දිනය සමරනව. 

වැඩ නොකරණ දිනය සමරන්නේ මෙසේය. මුලින්ම හරක් පප්පන් ගාල් කරන්න පුළුවන් දඩාර පිට්ටනියක් බුක් කර ගනී. ඊට පස්සෙ පිට්ටනියට එන පාරත් බුක් කර ගනී. ඊටපස්සේ හරක් පප්පන් අදින්න බක්කි කරත්ත බුක් කර ගනී. මේ වැඩ ටික හරිම ලේසියි. අමාරුම වැඩේ හරක් පප්පන් සෙට් කර ගැනීමය. හරක් පප්පන් සෙට් කර ගැනීමට පහත සඳහන් ඕනෑම ක්‍රමයක් භාවිතා කළ හැක. 

  • තණකොළ පාර්සලයක් සහ පුන්නක්කු බාල්දියක් ලබාදීම
  • වැඩ නොකරන සමිතිය ගෙඩිය පිටින්ම  බැස්සීම
  • වසන්ත මුදලාලිගේ අන්තර් ජාතික ශිෂ්‍ය සංගමය බැස්සීම 
  • තවත් එකී මෙකී නොකී ශිෂ්‍ය සංගම් බැස්සීම 
  • කළාබර කෑ කෝ පප්පන් බැස්සීම 
  • පොඩි පිස්සන්කොටුවල වැඩ කරන පප්පන් බැස්සීම
  • මහිලා සමිතිය බැස්සීම 
  • ජේෂ්ඨ පුරවැසි සමිතිය බැස්සීම 
  • රට ජාතිය ආගම ගලවාගැනිමේ සමිතිය බැස්සීම 
  • කොණ්ඩා රැවුල් කැපීම අමතක වූවන්ගේ සමිතිය බැස්සීම 
  • කුඩු සහ ගංජා කාරයන් බැස්සීම
  • අලුත්මට් ට්‍රෙන්ඩ් එක වන්නේ කිසිම අරමුණක් නැති උනත් අපි අරගලයේ කියමින් කිවිසුමක් ගියත් එලියට පනින්න සෙට් වෙලා ඉන්න රෝන් ජෙනරේෂන් එක බැස්සීමය 

අනේ ඉතින් මොන ක්‍රමයකට හරි හරක් පප්පන් අසුහාරදාහක් හොයා ගනී. ඊට පසු තමන් කැමති පාටින් ලාඩන් ගසා, ඒ පාටින්ම තුවායක් සහ තොප්පියක් දමයි. ඊට පසු බක්කි වලට පටවා පාරේ කෙලවරින්ම අත අරී. අනේ ඉතින් ඊට පස්සේ පාර දිගේ දක්කාගෙන යයි. නිකන්ම දක්කා ගෙන යනකොට ගතියක් නැති නිසා උම්බෑ උම්බෑ කියමින් දක්කාගෙන යයි. ඒමදිවට තව දඬු මොනරයකුත් අහසට නංවා, හරක් පප්පන් දක්කන වීඩියෝ එක මූණු පොතේ ලයිව් දමයි. එතකොට පප්ප ගමේ හරක් ප්‍රදර්ශනය ලෝකයාට සජීවීව බලාගෙන මාර ආතල් එකක් ගන්න පුළුවන්. 

ඔය විදියට ලොකු හරක් පට්ටි අයිතිකාර පප්පන් ප්‍රධාන වශයෙන් හතර දෙනෙක් ඇත. එක්කෙනෙක් මහ හොර පප්පාය. අනේ ඉතින් මීට කලින් මහ හොර පප්පා හරක් පට්ටිය බලාගන්න සර් ට දුන්නේය. සර් ට හරක් බලන්න පුරුද්දක් නැති නිසා හරක් ටික අයාලේ ගියේය. හරක් අඩු උනත් මහ හොර පප්පා කොහොම හරි දක්කාගෙන පිට්ටනියට ගියේය. හාමුටත් හරක් පට්ටියක් තිබුනේය. අනේ ඉතින් අසමගි පුතානෝ පට්ටියම හොරකන් කළේය. ඉතින් හාමුට ලැජ්ජ නැතුව එලියට බහින්න බැරි නිසා එයා සූම් එකින් සෙට් උනේය. හරක් පට්ටියත් හාමු මාර ස්මාර්ට් කියා උම්බෑ කීවේය. හාමුගේ හරක් පට්ටිය ඉන්න නිසා අසමගි පුතානෝට කැත නැතිව දක්කාගෙන යාමට පුළුවන්. හතරවෙනි එක්කෙනා අන්රයියාය. එයාගේ හරක් පට්ටිය සියට තුනකි. එයාලා හැම සතියෙම දක්කාගෙන යාම ප්‍රැක්ටිස් කරන නිසා ලස්සනට වැඩේ කරයි. මීට අමතරව තව පොඩි පොඩි හරක් පට්ටිත් අම්බානකට ඇත. සමහර වෙලාවට අයිතිකාරයා නැතිව හරක් ටික විතරක් ගාල කඩාගෙන දුවන්න ගොස් කුළුපොලු හමුදාවෙන් අම්බානකට කයි. ගොඩක් වෙලාවට ඔහොම කන්නේ රෝන් ජෙනරේෂන් එකය. 

අනේ ඉතින් ඔය විදියට දක්කාගෙන ගොස් ඒක කැත නැතිව ලෝකයාටත් පෙන්නයි. ලෝකයා හිනා වුනත් පප්පලාට ගානක්වත් නැත. පිට්ටනිය ලඟට ආවාට පසු ගාල් කරයි. ලොකු හරක් පට්ටි තියනකොට හිටගෙනම ගාල් කරයි. මිඩියම් සයිස් ඒවා ටකරන් මඩුවල ගාල් කරයි. පොඩි ඒවා පුටු වල ගාල් කරයි. ගාල් කළ පසු පුන්නක්කු දීම පටන් ගනී. හරක් පට්ටි අයිති පප්පන් ස්ටේජ් එකට නැග මෙලෝ තේරුමක් නැති ගොන් කතා තොගයක් හෝල් සේල් එකේ අත අරියි. හරක් පප්පලා ඒවා අසා පස්වනක් ප්‍රීතියට පත්වී උම්බෑ කියයි. 

අනේ ඉතින් වැඩේ ඉවර උනාට පස්සෙ කට්ටිය බක්කි වලට නැගල ආපු අතක් බලාගෙන යනව. උතුර දකුණ මාරුවෙන්න පුන්නක්කු බීපු අය වැටිල ඉඳල ඊළඟ දවසෙ ගෙදර යනව. ඊට පස්සේ හරක් පට්ටියෙ ෆොටෝස් බුකියට දාල එක ඇතුලෙ ඇනකොටා ගන්නව. ඔය විදියට පප්පලට සති දෙකක් විතර ආතල් එකක් ගන්න පුළුවන්. පහත චායාරුප, හරක් පප්පන් දක්කාගෙන යාම, ගාල් කිරීම සහ පුන්නක්කු දීම ලෙස පෙනෙන්නට හැකි වුවද, එහි පප්ප ගමට කිසිම සන්බන්ධයක් නැත. 

Saturday, April 29, 2023

මාළු මාමට සීනුව එල්ලූ මහා පිස්සන්කොටුවේ IMF චන්දය

 අනේ ඉතින් හාමු IMF අරන් කාපු කිරිබත් වල උණුසුම අඩුවේගෙන අඩුවේගෙන ගියා. මේ අතරෙ මහා හොර පප්ප කට්ටිය දාල තැන තැන IMF එකට බැන බැන ගියා. මහා හොර මුලේ ඉඳල හෙලිකොප්ටරේට නැග්ග හොරු ටිකත් IMF එකට බනින්න පටන් ගත්ත. ඉස්සර හාමුගේ වලව්වේ හිටපු අසමගි බලුවේගයත් එක එක කතා කියන්න ගත්ත.  රැල්ල නැවතිච්ච නිසා දහ අතේ කල්පනා කරකර හිටපු අන්රයිය බැලුව IMF එකට විරුද්ධ රැල්ලක් එනව වගේ, ඒකටවත් නගිනව කියල. අන්රයිය IMF එකට බනින්න ගියොත් වෙස් මුණ ගැලවෙන නිසා, බංකුවේ අලුත් ලොක්ක වෙච්චි නන්දෙට බැනගෙන බැනගෙන ගියා. හාමු බැලුව එනපොට හොඳ නෑ ගේමක් ගහන්න ඕන කියල. 

අනේ ඉතින් හාමු හිතුව IMF එකට කැමතිද නැද්ද කියල චන්දයක් තියන්න. අසමගි බලුවේගේ වැඩිහරියක් IMF එකට කැමතියි. ඉතින් විරුද්ධව චන්දෙ දෙන්න හිතුවොත් දෙකට කැඩෙනව. මහා හොරපප්පගේ කල්ලියෙ වැඩි දෙනෙක් IMF එකට අකමැතියි. ඉතින් විරුද්ධව චන්දෙ දුන්නොත් ඒකත් දෙකට කැඩෙනව. අන්රයිය IMF එකට කැමති උනාට ටිංටිං අන්කල් අකමැතියි. ඉතින් විරුද්ධව චන්දෙ දුන්නොත් වෙස් මුණ ගැලවෙනව. හෙලිකොප්ටරේට නැග්ග හොරු නං ඉතින් මොනව කරත් කමක් නෑ. හාමු චන්දෙන් දිනුවොත් එයාට විසිල් එකකුත් ගහගෙනම ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන්. චන්දෙන් පැරදුනොත් මහා පිස්සන්කොටුව විසුරවල හොරු ටික එලවන්න පුළුවන්. ඒක හොරුත් දන්න නිසා චන්දෙ පැරදෙන්නේ නෑ. චන්දෙ පැරදෙනව කියල දන්නවනන් හාමු චන්ද තියන්නෙත් නෑ. තියන චන්ද පැරදෙන්නෙත් නෑ. 

අනේ ඉතින් චන්දෙ තිබ්බ. IMF එකට ඇත්තටම කැමති අසමගි බලුවේගේ චන්දෙ වෙලාවට සුපුරුදු පරිදි ශේප් එකේ මාරු වෙලා පක්ෂෙ බේරගත්ත. IMF එකට ඇත්තටම අකමැති මහා හොරු රැල පිස්සන්කොටුව විසුරුවනවට බයේ පක්ෂව චන්දෙ දුන්න. හෙලිකොප්ටරේ හොරු රැල නන් ඉතින් අදාලම නැනේ. අන්රයියට චන්දෙ දෙන්නත් බෑ, බැනපු විදියට ශේප් වෙන්නත් බෑ. අනේ ඉතින් එයා කරන්න දෙයක් නැතුව විරුද්ධව චන්දෙ දුන්න. 

හාමු ඉනින්ග්ස් වලින් චන්දෙ දිනුව. මාළු මාමගේ බෙල්ලේ සීනුව එල්ලුව. දැන් ඉතින් කැත නැතිව ප්‍රතිසංස්කරණ ටික කරගෙන යන්න පුළුවන්. මාළු මාම වෙනස් වෙලා කියල රැවටිලා කඩේ ගිය අයගෙ සපෝට් එකත් පස්සෙ කවුරු හරි ගනීවි.  

Tuesday, April 4, 2023

හාමුව පැන්නීම සහ අන්රයියාගේ තුන් බිය

අනේ ඉතින් හාමු එලිසබෙත් ආච්චිගේ මළ ගෙදර ගිහින් ආච්චිවැහුන බව අපි කලින් කිව්වෙමු. දැන් හාමුව කන්ට්‍රෝල් කරන්නේ ආච්චිගේ අවතාරයයි. අවතාරය කන්ට්‍රෝල් කරන්නේ IMF එක වන අතර ඒක කන්ට්‍රෝල් කරන්නේ මහා භාරතයයි. ඇත්තටම කිව්වොත් මහා භාරතයට හාමු ගැන විශේෂ කැමැත්තක් නැත. ඒත් පප්ප ගමේ මහා පිස්සන් කොටුවේ සිටින දකුණට බර පිස්සන් අතර වැඩියෙන්ම මොළේ තියෙන්නේ හාමුටය. ඉතින් කරන්න දෙයක් නැති නිසා මහා භාරතය විසින් හාමු ලවා ප්‍රතිසංස්කරණ කරවයි. ඒක කරේ නැත්තන් පප්පගම චීනයට සින්න වෙන නිසා මහා භාරතයට කරදරයි.

අනේ ඉතින් මේ දවස්වල හාමු බරටම ප්‍රතිසංස්කරණ කරයි. ඒවාට සමහර පප්පලා කැමතිය. ගොඩක් පප්පලා අකමැතිය. ඒ නිසා හාමු පප්පලාට අම්බානට නෙලා බඩගින්නේ තියයි. ඉතින් බඩගිනි පප්පලා අන්රයියාට සෙට් වී ඇත. අන්රයියාට හාමුව එලවා ලොකු පප්පා වෙන්න ඕනය. ඉතින් අන්රයියා ලොකු පප්පා එලවීමට දහ අතේ කල්පනා කර මාර ප්ලෑනක් ගැහුවේය. ප්ලෑනේ හැටියට මුලින්ම කුඩා පිස්සන්කොටුවල චන්දයක් තියන්න කියා කෑ කෝ ගසයි. ඉතින් හාමුත් කියපු විදියටම චන්දයක් තිබ්බාම අන්රයියා කුඩා පිස්සන්කොටු ගොඩක් දිනයි. ඊටපසු වැඩිපුර කුඩා පිස්සන්කොටු තියෙන්නේ අපිට බව කිය කියා පාරදිගේ කෑ ගසා මහා පිස්සන්කොටුවේ චන්දය තියන්න කියා හාමුට බනියි. ඉතින් හාමුත් කියපු විදියට මහා පිස්සන්කොටුවේ චන්දය තිබ්බාම අන්රයියා මහා පිස්සන්කොටුවේ ලොක්කා වෙයි. ඊට පසු ලොකු පප්පා තෝරා ගැනීමේ චන්දය තියන ලෙස කෑ කෝ ගසයි. හාමු ඒකත් කියන විදියටම කරාම අන්රයියා චන්දය දිනා ලොකු පප්පා වේ. අනේ ඉතින් හාමුට අන්රයියා කියන කියන එක කරන්න තරං මැන්ටල් නැත. ඉතින් හාමු චන්දය කල් දමා, චන්දය කල් දැම්මෙ නෑ, කල් දාන්න චන්දයක් නෑ කියා කිවේය. ඉතින් ප්ලෑනට කෙලවුනේය.

අන්රයියාගේ පලවෙනි බිය

හාමු එලවීමේ එක ක්රමයක් වන්නේ පප්ප ගමේ තැනින් තැන මහා ඇනකොටා ගැනීමේ වලි කිරීමයි. අනේ ඉතින් අන්රයියා 88/89 කාලෙදි වලියක් දමා මහා විනාසයක් කරගත් නිසා ඒකට පන බයයි. ඒ නිසා මොනම හේතුවකටවත් ඇනකොටා ගැනීමට නොයයි.

අන්රයියාගේ දෙවන බිය

හාමු එලවීමේ දෙවැනි ක්‍රමය වන්නේ පප්පලා මහා රොත්තක් එකතු කර "මහා නිර්පාක්ෂික සාමකාමී වලියක්" කිරීමය. අනේ ඉතින් නිර්පාක්ෂික උනාම අන්රයියාට ක්‍රෙඩිට් එක යන්නේ නැත. අනික අන්රයියාගේ දායක සභාව සාමකාමී වලි දන්නෙත් නැත. ඒ මදිවට වලිය දිනුවොත් කලින් පාර හාමු කොහෙවත් ඉඳල ඇවිල්ල ලොකු පප්ප උනා වගේ වෙන මල යකෙක් ලොකු පප්ප වීමට බැරි නැත. අන්රයියා ඒකට නන් පන බයය.

අන්රයියාගේ තුන්වන බිය

හාමු එලවීමේ තුන්වන ක්‍රමය හරිම ලෙසිය. දකුණට බරවී මහා භාරතය සමග ඩිල් එකක් දැම්මොත් සුටුස් ගා හාමු විසිවී අන්රයියා ලොකු පප්පා වේ. අන්රයියා හැඟීම් හංගාගෙන හිටියද එයා කොහොමත් දකුණට බරය. ඒත් මාළු මාමාගේ ලොක්කා වන ටිංටිං අන්කල් වමට බරය. මාළු මාමාට සෙට් වී ඇති වැඩ නොකරන සමිතියේ පප්පන් ඔක්කොම වමට බරය. අනික මාක් (කාල් මාක්ස්) දෙවියා වමට බර නිසා දකුණට බරවීම ආගමට විරුද්ධය. අන්රයියා ඒකට නං කොහොමත් බයය.

අනේ ඉතින් අන්රයියාට හාමුව එලවන්නට බැරිය. ඉතින් අන්රයියා දායක සභාවට මෙහෙම දෙසයි. "කවදාහරි කුඩා පිස්සන්කොටුවල චන්දයක් එනවා... ඊට පස්සේ කවදාහරි මහා පිස්සන්කොටුවේ චන්දයක් එනවා... ඊට පස්සේ කවදාහරි ලොකුපප්ප තේරීමේ චන්දයක් එනවා... ඇයි මේ කලබලේ, ටිකක් කල්පනා කර බලන්න". අනේ ඉතින් දායක සභාවත් කවදාහරි චන්දයක් එනතුරු බලාසිටිමින්ම මොනව කිව්වත් මේ පාර අපි මාළු මාමට කියා කෑ කෝ ගසයි.

අනේ ඉතින් මේ අතරේ හාමුට වැහිච්ච් ආච්චි ප්‍රතිසංස්කරණ කරගෙන කරගෙන යයි. අන්රයියා දායක සභාවට චන්දය නැමති කැරට් අලය පෙන්වා ශේප් කරගෙන ඉන්න නිසා "මහා නිර්පාක්ෂික සාමකාමී වලියක්" කරගන්න විදියකුත් නෑ. හාමුටත් වැඩේ ලේසියි. මහා භාරතයටත් සතුටුයි. කොහොමත් ප්‍රතිසංස්කරණ කරන එක පප්ප ගමේ ආර්ථිකයට හොඳ නිසා දැනට ඒහැටි අවුලකුත් නෑ. අන්රයියාට මාක් දෙවියා පිහිටයි. සකර්බර්ග් සරණයි.

Monday, March 27, 2023

ගම් සභාවෙන් කඩයක් කිරීම

 අනේ ඉතින් ගම්සභාවට ගානක් හොයා ගන්න හිතල රොටි කඩයක් දැම්ම. ඔය රොටි කඩේ ගැන තීරණ ගන්න රොටි ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති ඇතුලු රොත්තක් දමා එයාලට ලේකම්, උපලේකම් ඇතුළු තවත් රොත්තක් වැඩට ගත්ත. එයාලට අවශ්ය වාහන, ආරක්ෂාව වගේ ඒවත් දුන්න. අනේ ඉතින් රොටි හදන්න නිකන්ම බෑනේ, ඒකට උපකරණ, ගොඩනැගිලි, යන්තර සූත්තර ඇතුළු දේවල් හැටහුටාමාරක් ඕනනෙ. ඉතින් ඕවට යට කරන්න ගමේ සල්ලි නැති නිසා පොලී මුදලාලිගෙන් ණයකුත් ගත්ත. රොටි සැදීමට පිටි, පොල්, ළුණු, තෙල් ඕනනෙ. ඉතින් ඔය එක එක වැඩේට වෙනවෙනම අංශ හදල ඒවාට පප්පල රොත්තක් රස්සාවට ගත්ත. ඉතින් පප්පල එළකිරි වගේ වැඩේ කරනවද බලන්න මැනේජර් පප්පලාද, ගිණුම් බලන පප්පලාද, අධ්‍යක්ෂ මණ්ඩලය, ලේකම්, උප ලේකම්, සභාපති ඇතුළු එකී නොකී මෙකී සියලු තනතුරු සඳහා නියාමන පප්පලව වැඩට ගත්ත.

දැන් එළකිරි වගේ රොටි හැදෙනව. පප්පලාට හරිම සතුටුයි. දැන් අපේ ගමෙත් රොටි කඩයක් තියනව කියල එයාල ආඩම්බරයෙන් සිටියි. රොටි කඩේ වැඩකරන පප්පලාට ගම්සභාවෙන් කොහොමත් පඩි ගෙවයි. පප්පලත් හරි කම්මැලියි. ඉතින් එයාල වැඩ නොකරම පඩි ගනියි. ඒ මදිවට වැඩ නොකරන සමිතියක් සාදා නියාමන පප්පලාට තග දමයි. ඉතින් නියාමන පප්පලා නියාමනය නොකර නිදා ගනියි. රොටි ඇමති ණය වලින් හොරා කයි. කවුරුවත් කාටවත් වගවෙන්නේ නැත. අනේ ඉතින් පප්පල රොත්තකට පඩි ගෙවල, තව ණයයි පොළියයි ගෙවල, රොටි ඇමති ඇතුළු සෙට් එකටත් ගෙවල තව පප්පල ජරාව කන එකටත් ගෙව්වාම රොටියක් හෙන ගණන්ය.

අනේ ඉතින් පප්පල රොටි ගන්න කඩේට ගියේය. රොටියක් අස්ප ගණන්ය. ඉතින් එයාලට මළ පැන රොටි ඇමතිට බැන්නේය. ඉතින් රොටි ඇමති බයවී රොටියට පාලන මිලක් දැම්මේය. දැන් රොටි කඩේ ආදායමට වඩා වියදම වැඩිවී රොටි විකුනන්නේ පාඩුවටය. ඉතින් පාඩුව කවර් කරන්න රොටි බද්දක් ගැහුවේය. දැන් රොටි ගන්න පප්පලාටත් පාඩුය. කඩේ පාඩු නිසා පප්පලාට පඩි ගෙවන්නෙත් අඩුවෙන්ය. ඉතින් වැඩ නොකරන පප්පලාටත් පාඩුය. කඩේ ආදායම අඩු නිසා ගෑස්‌ වලටත් ලයිට් වලටත් සල්ලි ගෙවා නැත. ඉතින් ගෑස් පප්පටයි, ලයිට් කපන මණ්ඩලයටයිත් පාඩුය. අනේ ඉතින් ණයයි පොළියයි ගෙවාගන්න බැරි වෙච්ච නිසා පොළී මුදලාලිටත් පාඩුය. ණය ගෙවන්නේ නැති නිසා තවත් ණය දෙන්න බෑ කියා පොළී මුදලාලි කිව්වේය. ඉතින් ණය නැතිව ජරාව කන්න බැරි වෙලා රොටි ඇමතිලාටත් පාඩුය.

අනේ ඉතින් හැමෝටම පාඩුනන් මොන මගුලකට මේක තවත් කරනවද කියල හිතල, ලොකු පප්ප රොටි කඩේ විකුනන්න දැම්මේය. ඒක අසා පප්පලාට මළ පැන්නේය. රොටි කඩේ අපේ සම්පතක්, ඒක එහෙම පිට ගම්වලට දෙන්න පුළුවන්ද කියා කට්ටියක් ඇසුවේය. අපි තුන් වේලටම කන්නේ රොටි. ඉතින් පිට ගමේ එකෙක් රොටි කඩේ අරගෙන රොටි හදන්නේ නෑ කිව්වොත් අපි කන්නෙ දත්මිටිද, ඒක ගමේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියල තව කට්ටියක් කිව්වේය. පිට ගමක එකෙකුට කඩේ දුන්නොත් ඌ ලාබය උගේ ගමට අරගෙන යයි. එතකොට අපිට දුකයිනේ, ඊට වඩා හොඳයි පාඩුවට හරි රොටි කන එක කියල තව කට්ටියක් කිව්වේය. ඔය රොටි කඩේ කරන හැටි වැරදියි, මුලින්ම වැඩ නොකරන සමිතිය සිල් ගන්නවන්න ඕන. එතකොට එයාල හොරකන් කරන්නේ නෑ. තව ෂුවර් නැත්තන් එක රොටියකට එක කෑමරාව ගානෙ දාල ඒක බලන්න ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් දාන්න ඕන, ඊට පස්සේ පප්පලගේ බඩේ සයිස් එක මැනල, බඩවල් වල පරිමාවයි රොටි වල පරිමාවයි බැලන්ස් වෙන විදියට පිටි ප්‍රමාණය ඔප්ටිමයිස් කරන්න ඕන, ඩොලර් එකත් එක්ක රොටි පරිභෝජනයේ ෆ්ලක්චුවේෂන් එකට අදාළ ඩේට ඔක්කොම අරගෙන ඒක හොඳට අඹරල තලල චැට් ජීපීටී එකට දැම්මාම හදන්න ඕන රොටියේ විෂ්කම්බය අන්තිම නැනෝ මිටරයටම ගන්න පුළුවන් කියල අලුතෙන් අන්රයියට සෙට් වෙච්ච චතුරංග මල්ලි ඩේට ඇනලයිස් කරන ගමන් කිව්වේය.

අනේ ඉතින් කඩේ බංකොලොත් වී රොටිත් නැත. කඩේ වැඩ කරපු පප්පලගේ රස්සාවලුත් නැත. කඩේට ණය දීපු පොලී මුදලාලිත් නැත, එයාගෙ සල්ලිත් නැත. තෙල් වලට, ගෑස් වලට, ලයිට් වලට පොලු තියපු නිසා ඒවත් නැත. කඩේ පරණ යකඩ වලටවත් විකිනෙන්නේ නැත. අන්තිමට කඩේ දාපු සර් ත් නැත.

Sunday, March 26, 2023

ජෙපි න්‍යායට අනුව ගම ගොඩ දැමීම

ජෙපි න්‍යායට අනුව ණය ගන්නාවිට කොන්දේසි දැමිය යුත්තේ සීසර් අයියා නොව ටිංටිං අන්කල්ය. අනේ ඉතිං සීසර් අයියාට මොලේ අමාරුවක් නැති නිසා ණය දෙන්නේ නැත. මේ අතර ටිංටිං අන්කල් සිතන්නේ ගම කැවේ ණය ගත්ත නිසා කියාය. ඉතිං ප්‍රශ්නය ණය නම් උත්තරයත් ණය නොවන බව අංකල් කියයි. ඒ නිසා ණය ගැනීමේ අදහසක් කොහොමත් නැත. ජෙපි න්‍යායට අනුව මුලින්ම කලයුත්තේ අන්රයියා ලොකු පප්පා කිරීමය. ඊට පසු අන්රයියා විසින් හතර පෝයටම සිල් ගන්නා, රහසින්වත් පවු නොකරන පප්පලා 20 දෙනෙකුගෙන් යුත් කැබිනට් එකක් පත් කරයි. ඒවගේ සත් ගුණවත් පුද්ගලයන් සොයා ගැනීම එතරම් අපහසු නොවේ. ඔවුන් දැනටමත් ජෙප්පන්ගේ විධායක කමිටුවේ සිටී. අන්රයියා විසින් විධායක කමිටුවේ නම කැබිනට් එක ලෙස වෙනස් කරයි. වැරදිලාවත් කමිටු පප්පන් චන්දෙන් පැරදුනත් අවුලක් නැත. චන්දෙන් දිනපු අය ඉල්ලා අස්කරවා කමිට්ටන් ඇතුලට දාගනී. එය මිට පෙරත් කර ඇති නිසා experience ඇත.

අනේ ඉතින් විධායක කමිටුව කැබිනට් එක වීම නිසා පස්වනක් ප්‍රීතියට පත්වන රටගිය පප්පන් හෝල්සේල් එකේ ඩොලර් එවීමට පටන් ගනී. දැනට ලැබෙන ඩොලර් මිලියන 500, ඩොලර් බිලියන 2 දක්වා ඉහලනගී. ඒ මොකද කියල අහන්න එපා, එහෙම තමයි. එතකොට තෙල් ඕනෑ තරම් මිලදී ගෙන, නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනයටත් වියදම් කර, පඩිත් වැඩිකර, බඩුත් අඩුකර, බදුත් නැතිකර, ඉතිරි වෙන ගානින් ජිම් එකටත් යාහැක. අනේ ඉතින් අවුරුද්දකට ණය ඩොලර් බිලියන 7ක් ගෙවන්න තියනවනේ, ඒක කරන්නේ කොහොමද කියා ප්‍රතිගාමී බලවේග අසයි. එවිට ඇයි මේ කලබලේ, ටිකක් කල්පනා කර බලන්න, කියා අන්රයියා කියයි.

ණය ගෙවීමට ජෙප්පන්ගේ ක්‍රමය 2ක් ඇත. පලවෙනි ක්‍රමය හොරපප්පලා හොරකං කරපු ඩොලර් ආපහු ගෙන්වා ගැනීමයි. මුලින්ම හොර පප්පලා ටික අල්ලා ගනී. දැනටමත් හොර පප්පලා කවුද කියා දන්නා නිසා සහ ෆයිල් තියන නිසා වැඩේ හරිම ලේසියි. ඊටපසු හොර පප්පලා කකුල් දෙකින් එල්ලා කිතිකවා සල්ලි කොහේද කියා ප්‍රශ්න කරයි. අනේ ඉතින් හොරපප්පලා සල්ලි ගෙදර තියාගන්නේ නැත. ඒවා වෙන වෙන අයගේ නම්වලින් වෙනත් රටවල් වල තැන්පත් කිරීම, දේපල මිලදී ගැනීම, ව්‍යාපාර කිරීම වැනි දේ සිදුකරයි. ඉතින් අන්රයියා කොහොමහරි මේ නම් ලිස්ට් එකත්, සල්ලි ගැන සියලු විස්තරත් සොයා ගනී. බොහෝ විට මේ සල්ලි තැන්පත් කරන්නේ පප්ප ගමටත් වඩා චාටර් වෙච්ච උගන්ඩාව වගේ රටවල්ය. නැත්තං ස්විස්ටර්ලන්තයේ රහස් බංකු වලය. ඉතින් අන්රයිය මේ විස්තර ටික අදාළ රටවල් වලට යවයි. ඒ රටවල් වලට අන්රයියා පණමෙන් විස්වාසය. ඉතින් කියන පරක්කුවෙන් හොර පප්පලා ටික අල්ලාගෙන, අම්බානකට නෙලා, සල්ලි පප්ප ගමට එවයි. මේ මගින් සෑම අවුරුද්දකටම ඩොලර් බිලියන 10ක් ලැබේ. එම මුදලින් ණයත් පොලියත් ගෙවා තව ජිම් යන්නත් පුළුවන.

ණය ගෙවීමේ දෙවන ක්‍රමය නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමයි. අනේ ඉතින් ඕක කරගන්න බැරිවී ඇත්තේ ගම්සභාවේ කඩ වලට වැඩ බැරි හොර පප්පන් පත්කර ඇති නිසාය. ඉතින් ගම්සභාවේ කඩ පාඩු ලැබීමට විසඳුම කඩ විකිණීම නොව ලාබ ලබන කඩ බවට පත් කිරීම බව ටිංටිං අන්කල් කියයි. ඉතින් ගම්සභාවේ කඩ 500ට ලොක්කන් 500කුත්, දෙවෙනි ලොක්කා, තුන්වෙනි ලොක්කා, අධක්ෂ මණ්ඩලය, තව ලේකම්ලා, භාණ්ඩාගාරිකලා, එක එක අංශ වල ප්‍රධානින්, ඔවුන්ගේ ලේකම්ලා, ඔවුන්ව සන්බන්ධිකරණය කරන පප්පලා, ඇතුළු එකී මෙකී නොකී විධායක තනතුරු වලට, සතර පෝයටම සිල් ගන්න, රහසින්වත් පවු නොකරන, පඩි නොගෙන වැඩ කරණ උපාසක බළල්ලු අසුහාරදාහකුත් තවත් එකක් පත් කරයි. ඔවුන් පවු නොකිරීම පමනක් නොව ව්‍යාපාර කළමනාකරණයේ අත්දැකීම් සම්භාරයක් ඇති අතිදක්ශයන්ද වේ. ඔය වගේ කොලිටි බඩු මෙච්ච්ර කාලයක් හිටියේ කොහෙද කියා අහන්න එපා. අන්රයියා කොහෙන් හරි හොයාගෙන වැඩේ කරනව.

අනේ ඉතින් ඊට පස්සේ වැඩේ හරිම ලේසියි. ඊළඟට කරන්නෙ කාර්යක්ෂමතාවය වැඩි කරන එක. එකට අවශ්ය යන්තර සුත්තර සහ දැනුම රට ගිය සහෝදර පප්පන් නොමිලේම ලබා දෙනව. ඒ මොකද කියල අහන්න එපා, එහෙම තමයි. ඉතින් ගම්සභාවේ විධායක පප්පන් සිල් ගන්නා නිසා ඔවුන් දෙස බලා වැඩ නොකරන පප්පලාද සිල් ගන්නට පටන් ගනී. එතකොට එයාලා ඉබේම හොරකන් නොකරන පප්පලා බවට පත් වේ. ඊට පසු නිෂ්පාදනය වැඩි කිරීමට ඔවුන් දිවා රැ නොබලා වැඩ කරයි. අනේ ඉතින් දිවා රැ නොබලා වැඩ කිරීම කම්කරු නීති වලට විරුද්ධය. අන්රයියා කම්කරු නීති පණමෙන් රකී. ඒ නිසා පප්පලාට වැඩ කරන්න එපා යයි කියයි. ඒත් පප්පලා කියන දෙයක් අහන්නේ නැතිව අම්බානට වැඩ කරයි. වැඩ කරනවානන් කමක් නැත. පඩිත් එපා කියකිය තව බදුත් ගෙවයි. අන්රයියා කොච්චර එපා කිව්වත් අහන්නේ නැත.

අනේ ඉතින් ගම්සභාවේ ආදායම නහුතෙට නගී. ඒ සල්ලි වලින් අන්රයියා බඩු මිළ අඩුකර, පඩි වැඩිකර, හැමෝටම ගම් සභාවේ රස්සාවල්ද ලබාදේ. ණයත් පොලියත් ගෙවා ඉතුරු සල්ලි වලින් ගමේ විශ්ව විද්‍යාල සාදා හැමෝටම උපාධියක් ලබාදේ. ඔපරේෂන් නොමිලේ කර තව සල්ලිත් දෙයි. වැඩ නොකරන අයටත් ආදායම් අඩු අයටත් නිකන්ම සල්ලි දෙයි. එයාලා එපාම කියයි. ඒත් බලෙන්ම දෙයි. අනේ ඉතින් කොච්චර හොඳද අම්මපා. ඔබත් කල්පනාකාර බලන්න. මේ පාර මාළු මාමටයි.

Saturday, March 25, 2023

පප්ප ගමේ ජන වර්ග

ටොයියන් යනු පප්ප ගමේ පැරණිතම ජන වර්ගයයි. ටොයියන්ගේ දෙයියා එලිසබෙත් ආච්චි වන අතර ඔවුන්ගේ ලොක්කා හාමුය. අනේ ඉතින් ආච්චි මළාය. ආච්චිගේ මළ ගෙදර ගිය හාමුට ආච්චි වැහින. ඊට පසු හාමු ආච්චිමෙන් රතු පෙට්ටියක් පාවිච්චි කිරීම, මුහුදට වෙඩි තැබීම, පෙරහැර බලන්න නුවර යෑම වැනි දේ සිදුකරයි. හාමුගේ වටේට සමනලයින්ගෙන් සැදුම්ලත් inner circle එකක් සිටී. ඔවුන් දුකේදී හාමුව හැර නොයන අතර සැපේදී හොරකං කරයි. ඔවුන් හොරකං කරන විට හාමු අහක බලාගෙන සිටී. ටොයියන් තමන් ලිබරල් බව විශ්වාස කරන නමුත් එහි තේරුමවත් නොදනී. ටොයියන්ගේ අරමුණ වලව් සංස්කෘතිය ආරක්ෂා කර ගනිමින් පුළුවන් තරම් හොරකං කිරීමය. ටොයියන් ඉතාම ස්මාට් වන අතර හොරකං සිදු කරන්නේ ගමේ නීතියට අනුවය. හොරකං කිරීමට අපහසු අවස්ථාවල අලුත් නීතියක් සාදා එයට අනුව හොරකං කරති. 

ටොයියන්ට විරුද්ධව බිහිවූ ජන වර්ගය බයියන්ය. බයියන්ගේ ආරම්භක දෙයියා "මාර්ක්" ය. මාර්ක් කියන්නේ මාර්ක් සකර්බර්ග් නොව කාල් මාර්කස් ය. ඔවුන්ගේ ලොක්කා ගමේ බයියාය. පසුව ඔවුන් මාර්ක් දෙයියා එලවා දමා, අලුත් දෙයියා ලෙස ගමේ බයියා පත්කර ගත්තේය. ගමේ බයියා මහ හොර පප්පා ලෙසද හඳුන්වයි. ඔහු වටේට හොර පවුලක් සිටී. ටොයියන් මහ හොර පප්පා රජෙකු යැයි සිතා සිටි. මහ හොර පාප්ප හොරකං කරන්නේ මහ දවාලේය. ඔහුට නීති අදාළ නැත. 

තෙවන ජන වර්ගය ජෙප්පන් වන අත්ර ඔවුන් 3%කි. ඔවුන් විසින් බයියන් එළවා දැමූ මාර්ක් ව දෙයියා කර ගත්තේය. නමුත් ඉතා මෑතකදී තමන් ගේ දෙයියා කාල් මාර්කස් නොව මාර්ක් සකර්බර්ග් බව සිතයි. දෙන්නාම මාර්ක් නිසා ප්‍රශ්නයක් නැත. ජෙප්පන්ගේ ලොක්කා ටිංටිං අංකල් ය. අනේ ඉතින් ටිංටිං අංකල්ට දවල්ට එළියට බැසිය නොහැක. එළියට බැස්සොත් පප්පලා අයිඩන්ටිටි කාඩ් ඉල්ලා පස්සෙන් එයි. එනිසා ජෙප්පන් තමන්ගේ ලොක්කා ලෙස නමට විතරක් අන්රයියාව පත් කර ගත්තේය. අන්රයියා ඉතා ප්‍රියමනාප පුද්ගලයෙක් වන අතර හැමදාම දිය නා අලුත් ඇඳුම් ඇඳ ඉතා පිරිසිදුව සිටී. ජෙප්පන් උපාසක බළලුන් වන අතර මීයන් අල්ලන්නේ රෑටය. 

අදාළ උෂ්ණත්වය සහ පීඩනය යටතේ ටොයියන් බයියන් බවටත්, බයියන් ටොයියන් බවටත් ඉතා පහසුවෙන් පරිවර්තනය කලහැක. ටොයියන් බවට පරිවර්තනය වූවිට හැසිරීමේ නොයෙක් වෙනස්කම් සිදුවේ. ඔවුන් කලිසම් කෝට් ඇඳ ටයි දමයි. globalization, free market, democracy, liberalism වැනි වචන ඒවායේ තේරුම නොදැන කතා කරයි. ඔවුන් ඕනෑම ජීවියෙකු සමග නොබියව බිස්නස් කරයි. කිසිම භෞතික වස්තුවකට ඇලි ගැලී නොසිටින අතර විකිනීමට කිසිසේත්ම මැලි නොවේ. 

බයියන් බවට පරිවර්තනය වූවිටද හැසිරීමේ නොයෙක් වෙනස්කම් සිදුවේ. ඔවුන් සරම් ඇඳ සාටක දමයි. නොයෙක් නොයෙක් දේ ගලවා ගැනීමට පෙළඹෙන අතර විශේෂයෙන්ම ජාතිය, ආගම වැනි දේ ගලවා ගැනීමට ලොල් බවක් දක්වයි. ඔවුන් හැමවිටම බියෙන් පසුවේ. විශේෂයෙන්ම අධිරාජ්‍යවාදය, බටහිර, ඇමරිකාව, කොටි නැගිටීම වැනි දේට බියවෙති. පන්සල් යෑම, පුජා පැවැත්වීම වැනි දේද සිදුකරයි. 

ටොයියන් සහ බයියන් ජෙප්පන් බවට පරිවර්තනය කිරීම ඉතා අපහසුය. නමුත් ඉතා අධික පීඩනයක් යටතේ IMF වැනි උත්ප්‍රේරකයක් භාවිතා කිරීමෙන් ටොයියන් සහ බයියන් හෝල්සේල් එකට ජෙප්පන් බවට පරිවර්තනය කලහැකිබව මෑතකදී සොයා ගත්තේය. ජෙප්පන් වූවිටද හැසිරීමේ නොයෙක් වෙනස්කම් සිදුවේ. ඔවුන් රතුපාට ඇඳුම් ඇඳ රතු තොප්පි දායි. අලුත් ඇඳුම් මිලදී නොගන්නා අතර ඇඳුම් හුවමාරු කරගනී. දවස පුරාම බුකියේ සැරිසරමින් "නිවන් සැප ලැබේවා" යි කමෙන්ට් කර හිනාවෙන මුණක් දායි. ඔවුන්ගෙන් කුමන ප්‍රශ්නයක් ඇහුවද "මේ පාර අපි මාළු මාමට" යයි පවසයි. ඕනෑම අංකල් කෙනෙකුට කැත නැතිව සහෝදරයා යැයි අමතයි. ඔවුන් මසකට වරක් දත් මැද ස්නානය කරයි. කිසිදු අවස්ථාවක වැඩ නොකර, වැඩ නොකරන වලි සිදු කරයි. බයියන්ටත් වඩා අධිරාජ්‍යවාදයට, ඇමරිකාවට සහ මහා භාරතයට බියවෙයි. නමුත් ඔවුන් චීනයට ඉතා කැමති අතර චීනුන් මොනවා කරත් කිසිවක් නොකියයි. ජෙප්පන් පන්සල් නොයයි. පුළුවන් සෑම විටම මහා මාර්ගයේ කැ කෝ ගසමින් සැරිසරන අතර, ඕනෑම පුද්ගලයෙකු සමග ඇනකොටා ගැනීමටත්, රාත්‍රී කාලයේදී ගෙවල් ගිනි තැබීමටත් නැඹුරුවක් දක්වයි. අදාළ අධික පීඩන තත්වය පහව ගියපසු ස්වාභාවිකවම ටොයියෙක් හෝ බයියෙක් බවට නැවත පරිවර්තනයවේ. 

පප්ප ගමේ ටොයියන්, බයියන් සහ ජෙප්පන් නොවන ජීවින් දුසිමක් විතර සිටී. ඔවුන් බළල් අත්, පිල්ලි, අවජාතක පුත්තු, ප්ලාන්ට්, යන නම් වලින් හඳුන්වයි. ඔවුන් සාපේක්ෂව බුද්ධිමත් වන අතර, අම්බානකට කෙලවී ගියවිට මොවුන් පැමිණ වැඩේ ගොඩ දායි. ඊට පසු ඔවුන්ව එලවා දමයි. මොවුන් නිහඬ පුද්ගලයන් වන අතර වැරදිලාවත් කතා කරොත් අම්බානට නෙලයි. 

Tuesday, March 21, 2023

සිස්ටමැටිකලි ගම කන හැටි ඉතාම සරලව පියවර 5 කින් - පස්වන පියවර : වියදම අඩු නොකර ආදායම් වියදම් පරතරය පියවීමට බදු ගැසීම

 අනේ ඉතින් අලුතෙන් ලොකු පප්ප වෙච්ච හාමු සීසර් අයියට zoom කෝල් එකක් අරන් ණයක් ඉල්ලුව. ඔයාලගේ ණයයි පොළියයි වැඩියි. ඒ මදිවට වියදම අදායමට වඩා තුන් ගුණයක් වැඩියි. ඒ මදිවට ගමේම වස්තුව ඔක්කොම වික්කත් ණය ගෙවන්න බැ. අලුතෙන් ණය ගත්තත් ණය ගෙවන එකයි වියදම කවර් කරන එකයි ඇරුනාම ගමේ නිෂ්පාදනය වැඩි කරගන්න බැ. ඉතින් ණය තිරසාර නෑ. තිරසාර නෑ කියන්නේ ජීවිතේට ආපහු ණය ගෙවන්න බෑ. එහෙම උන්ට ණය දුන්නොත් රෝමන් කාරයො මාවත් එලවයි කියල සීසර් අයිය කිව්ව. ඉතින් ඔක්කොටම කලින් ණය ප්රතිව්යුහගත කරන්න ණය හිමියන්ව එකඟ කරගන්න කිව්ව. ඉතින් එහෙම කිව්ව කියල ණය හිමියො එකඟ වෙන්නෙ නෑනේ. ඉතින් ආපහු ණය ගෙවන්න පුළුවන් වෙන්න පප්ප ගමේ ආර්ථික ප්රතිසංස්කරණ කරන්න ඕන කිව්ව. ඉතින් ඒකට කරන්න ඕන වැඩ 10ක් සීසර් අයිය කිව්ව.

  1. මුලින්ම රාජ්ය ව්යවසාය ප්රතිව්යුහගත කරන්න ඕන, ඒ කියන්නේ ගම් සභාවේ කඩ ආපහු මුදලාලිලාට දෙන්න ඕන සහ බඩු විකිනෙන්නේ නැති කඩ වහල දාන්න ඕන.
  2. ගම් සභාවේ පරිපාලනය කාර්යක්ෂම කරන්න ඕන.
  3. ජරාව කන එක නවත්තන්න නීති පනවන්න ඕන.
  4. බංකුවට හරි කෙලින් වැඩ කරන්න පුළුවන් වෙන්න ස්වාධින කරන්න ඕන.
  5. ඩොලර් එකේ මිල ඉල්ලුම සහ සැපයුම මත තීරණය වෙන්න ඕන.
  6. කහවනු අච්චු ගහන එක නවත්තන්න ඕන.
  7. තෙල්, ලයිට් විකුනනකොට වියදමවත් කවර් වෙන්න විකුණන්න ඕන.
  8. ආනයන අපනයන සිමා ඉවත් කරන්න ඕන.
  9. පොලී අනුපාතිකය වැඩි කරල උද්ධමනය පාලනය කරන්න ඕන.
  10. බදු ප්රතිපත්තිය සංශෝධනය කරලා ආදායම වැඩි කර ගන්න ඕන.
අනේ ඉතින් ලොකු පප්ප රෝමන් බාසාව දැන ගෙන හිටියට මොළේ තිබ්බෙ නෑනේ. ලොකු පප්ප හිතුව බදු සංශෝධනය කරනවා කියන්නේ බදු වැඩි කරන එක කියල. ඒකත් ඉතින් කොටසක් තමයි. ඊට කලින් tax base එක වැඩි කර ගන්න ඕන. ඒ කියන්නේ හැම පප්පටම බදු ෆයිල් එකක් ඇරල හැම අවුරුද්දෙම ආදායම නිවැරදිව ඒකෙ රෙකෝඩ් කරන්න ඕන. ඒකට ඉතින් ගම් සභාවට කොන්පියුටර් හයි කරන්න ඕන. ගනු දෙනු බංකුව හරහා කරල බංකු ගිණුම් බදු ෆයිල් එකට එකතු කරන්න ඕන, වගේ ගොඩක් දේවල් කරන්න ඕන. අනේ ඉතින් ලොකු පප්පට ඕව තේරෙන්නෙ නෑ. තේරෙන්න මොළේකුත් නෑ, මොළේ තිබ්බනං ඔච්චර කෙලෝගන්නෙත් නෑ. ලොකු පප්ප අනිත් දේවල් මුකුත් නොකර බදු විතරක් නහුතෙට වැඩි කරා. අන්තිමට හැමදාම බදු ගෙවන වැඩ කරන පප්පලගේ බද්ද තවත් වැඩි උනා. හොර පප්පලට කිසි අවුලක් නෑ. අනේ ඉතින් කන්නත් නැතුව, බොන්නත් නැතුව, ලයිටුත් නැතුව, තෙලුත් නැතුව, ණයත් වැඩි වෙලා හිටපු පප්පල තව බදුත් ගෙවන්න ඕන. අන්තිමට පඩි දවසට අතිනුත් සල්ලි ගෙවන්න උනා. අනේ ඉතින් ටිකක් හරි වැඩ කරන්න පුළුවන් පප්පල ගම අතෑරලා රෝමේ රස්සාවට ගියා. එතකොට ගමේ වැඩ කරන්න මොළේ තියන පප්පල කවුරුත් නෑ.
අනේ ඉතින් ගමේ වැඩි හරියක් ඉතුරු උනේ මොළේ නැති වැඩ නොකරන පප්පල විතරයි. එයාලට මල පැනල කැ කෝ ගහන්න ගත්ත, කපා කපා මාළු කපා අපිට එපා කියල. ඉතින් එයාල සෙට් වෙලා ලොකු පප්පට කිව්ව පඩි වැඩි කරල, බදු අඩු කරල, බඩු මිළ අඩු කරල, ලයිට් බිල අඩු කරල, තෙල් මිල අඩු කරල, තවත් වැඩ ගොඩක් කරන්න කියල. ලොකු පප්ප ඇහුව ඔයාලට මැන්ටල්ද, සීසර් අයිය මට වැඩ 10ක් දීල තියනවා, ඒක කරේ නැත්තන් ණය හම්බුවෙන්නේ නෑ කියල. ලොකු පප්ප බදු තවත් වැඩි කරල ලයිට් බිලත් වැඩිකරල කිව්ව, ඉදිරි සති දෙක තවත් අමාරුයි, ඊට පස්සෙත් හොඳටම අමාරුයි, කොහොමත් මම ඉන්න කන් ඔයාලට අමාරුයි, 2048දි මම මළාම තමයි ඔයාලට චුට්ටක් හරි ඔලුව උස්සගන්න පුළුවන් වෙන්නේ කියල. ඒ පාර වැඩ නොකරන පප්පලට අම්බානකට මල පැනල මහා වැඩ නොකරන වලියක් කැදෙව්ව. ලොකු පප්පටත් නහුතෙට තද වෙලා කුළු පොලු හමුදාවක් දාල පප්පලට නෙලාගෙන නෙලාගෙන ගියා. අනේ ඉතින් පප්පල ටික පඩිත් නැතුව, බදුත් ගෙවල, කන්නත් නැතුව, බොන්නත් නැතුව, තෙලුත් නැතුව, ලයිටුත් නැතුව, තව අම්බානට ගුටිත් කාල ගෙදරට වෙලා, ඔයාල මොනව කිව්වත් “මේ පාර අපි මාළු මාමට” කියල කෑ කෝ ගැහුව. අනේ ඉතින් මාළු මාමට චන්දෙ දෙන්නේ කොහොමද, ලොකු පප්ප චන්දෙටත් කෙළිය.
දැන් ගම කන වැඩේ සම්පුර්ණයි. කන්නත් නෑ, බොන්නත් නෑ, තෙලුත් නෑ, ලයිටුත් නෑ, පප්පලත් රෝමෙට ගියා, නිකන් වගේ තිබ්බ ප්රජතන්ත්රවාදෙත් නෑ, අනේ ඉතින් මුකුත් නෑ. ඉතුරු වෙච්ච පප්පල ටික මේ මොකද උනේ කියල හූල්ලනවා.