Friday, January 19, 2024

බයියෙක් හඳුනාගමු - 2 කොටස : බයියන් සංයුක්තය (concrete)

 සංයුක්ත (concrete) යනු ඉන්ද්‍රිය ගෝචර (පන්චේන්ද්‍රියන්ට දැනෙන) ලෙසත්, වියුක්ත (abstract) යනු ඉන්ද්‍රිය ගෝචර නොවන ලෙසත් පැහැදිලි කල හැක. උදාහරණයක් වශයෙන් ඔබ දැන් වාඩිවී සිටින පුටුව සංයුක්ත (concrete) සංකල්පයකි.  ඉන්ද්‍රියන් භාවිතාකර දැන් වාඩිවී සිටින පුටුව දැකීම, ඇල්ලීම වැනිදේ කල හැක. මම වාඩිවී සිටින පුටුවද සංයුක්තය. මේ පුටු දෙක වෙනස් වුවද පුටුව ලෙස හැඳින්වීමට පුළුවන. එම පුටු දෙකද වෙනත් තැන්වල ඇති පුටුද, දැනට සාදා ඇති සෑම පුටුවක්මද, අනාගතයේ සාදන පුටුද, නොයෙන් හැඩයන්, වර්ණයන් ගත්තද  "පුටුව" යන  වියුක්ත සංකල්පයෙන් පැහැදිලි කල හැක. නමුත් "වියුක්ත පුටුව" ඉන්ද්‍රිය ගෝචර නොවේ. "වයස"ද වියුක්ත සංකල්පයකි. වයස ඇල්ලීම, දැකීම, ඇසීම කල නොහැක. නමුත් උපන් දිනය, කටහඩේ වෙනස් වීම, ශරීරය වෙනස් වීම, කොන්ඩෙ සුදුවීම වැනි වෙනස් වීම් මගින් වයස තේරුම් ගනී. 

බයියන්ට වියුක්තව සිතිය නොහැක. උදාහරණයක් වශයෙන් භාණ්ඩයක මිල යනු වියුක්ත සංකල්පයකි.  ඒ නිසා අල ගෙඩියක මිල එක එක තැන්වල එක එක කාලයට වෙනස් වීම බයියන්ට දිරවාගත නොහැක. ඔවුන් සිතන්නේ අල අලම නන් මිලද මිල වියයුතු බවයි. අනේ ඉතින්,  ඉල්ලුම, සැපයුම, කාලගුණය වැනි දේ වෙනස් වුවද අල ගෙඩිය අල ගෙඩියමය. එම නිසා අලයට එකම මිලක් තිබිය යුතුයි කියා බයියන් මිල පාලනය කරයි. තෙල්ද එහෙමය. හැම තැනම හැම කාලෙම තියෙන්නෙ එකම තෙල් නම් තෙල් වල මිල වෙනස් වීම බයියන්ට තේරෙන්නේ නැත. කහවනු වල මිලද එසේමය. ඒ නිසා බයියන් කහවනු වල මිල එකම ගානකට තියාගෙන කෙලවාගත්තේය. බයියන්ට ඉල්ලුම සැපයුම උද්ධමනය වැනි වියුක්ත සංකල්ප තේරෙන්නේ නැත. 

නිෂ්පාදන යනු සංයුක්ත සංකල්පයක් වන අතර  සහ සේවා යනු වියුක්ත සංකල්පයකි. බයියන්ට වියුක්තව සිතිය නොහැකි නිසා ඔවුන් නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකළ යුතු බව කියයි. අල ගොවියාගේ අලය පාරිභෝගිකයා ලඟට එනකොට මිල වැඩිවීම බයියන්ට නොතේරේ. ප්‍රවාහනය, ගබඩා කිරීම, කල් තබා ගැනීම, තොග පාලනය කිරීම, වැනි අනවශ්‍ය දේවල් කිරීමෙන් අතරමැදියා විසින් ගොවියන් සහ පාරිභෝගිකයන් හූරාගෙන කන බව බයියන් සිතයි. ඒ නිසා හැම මගුලක්ම නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයාට කෙලින්ම විකිණිය යුතුය. ඔවුන් සමුපකාර ක්‍රම වැනි දේවල් වලට කැමතිය. 

බයියන් වියුක්ත සංකල්ප තේරුම් ගන්නේ සංයුක්ත සංකල්ප වලට ඌනනය කිරීමෙනි. උදාහරණක් වශයෙන් ඔවුන් ධනවාදය හාමුටද, සමාජවාදය අන්රයියාටද, ජාතිකවාදය මහා හොර පප්පාටද, මෝඩකම පුතානෝටද ඌනනය කරයි. ඊට පසු එම භෞතික පුද්ගලයන් සිදු කරන ක්‍රියා මගින් වියුක්ත සංකල්ප පැහැදිලි කරයි. විකිණීම ධනවාදය ලෙසත්, පාර දිගේ කෑ කෝ ගැසීම සමාජවාදය ලෙසත්, හොරකන් කිරීම ජාතිකවාදය ලෙසත්, බස් එළවීම මෝඩකම ලෙසත් තේරුම් ගනියි. ආගම, ජාතිය, සංස්කෘතිය වැනි සංකල්පද කිසියම් ශාස්තෘවරුන්, ඔවුන්ගේ අනුගාමිකයන්, පිළිම, කහ පාට වස්ත්‍ර, ලේ, පෙරහැර, අලි, හරක්, තොප්පි, මූණු වහණ රෙදි කැලි, පොත් වැනි සංයුක්ත සංකල්ප වලට ඌනනය කර තේරුම් ගනියි. මාර්ක් දෙවියා ආගම එපා කිවූ නිසා ආගම අත්හැර මාර්ක් දෙවියා අදහයි. පිළිම වන්දනාව එපා කිව්වම ඒක කියපු කෙනාගේ පිළිමයක් නෙලා ඒකට වඳියි. එම සංයුක්ත වස්තුන් රැක ගැනීම මගින් වියුක්ත සංකල්ප ආරක්ෂා කර ගත හැකියැයි සිතයි. 

අනේ ඉතින් බයියන් විසින් වියුක්ත සංකල්ප ගැන කතා කරන පප්පන්ද ඉහිත කී සංයුක්ත සංකල්ප වල "පිල්ලි නොහොත් ප්ලාන්ට්" බවට ඌනනය කර ගැනීම මගින් තේරුම් ගනියි. උදාහරණයක් වශයෙන් නිදහස් වෙළඳපොල ගැන කතා කරන පප්පන් හාමුගේ පිල්ලි බවටද සමුපකාර ගැන කතාකරන පප්පන් අන්රයියාගේ පිල්ලි බවටද, ආගම ගැන කතා කරන්නන් මහා හොර පප්පාගේ පිල්ලි බවටද, ඔහේ නිකන් කියවන අය පුතානෝගේ පිල්ලි බවටද ඌනනය කර තේරුම් ගනියි. එම නිසා බයියන්ට වෙළඳපොල, උද්ධමනය, විනිමය අනුපාතිකය, වෙළඳ ශේෂය වැනි වියුක්ත සංකල්ප තේරුම් කර දීම මෝඩ වැඩකි. 





Wednesday, January 17, 2024

බයියෙක් හඳුනාගමු - 1 කොටස : බයියන් binary ය

 පප්ප ගමේ බයියන්, ටොයියන් සහ කයියන් ලෙස ප්‍රධාන පප්පන් කොටස් 3කි. ඒ අතරින් ඔරිජිනල් කයියන් 3%කි. ඔරිජිනල් ටොයියන් දුසිම්  බාගයක් විතර සිටී. ඉතිරි පප්පන් ඔක්කොම බයියන්ය. ඇත්තටම කිව්වොත් ඉපෙදෙන ඕනෑම පප්පෙක් ආරම්භයේදී බයියෙකි. ඊට පසු ටික දෙනෙක් කයියන් හෝ ටොයියන් බවට පරිවර්තනය වේ. ඉතිරි බයියන් ඒ ඒ කාලයට එන රැල්ලත් සමග seasonal ටොයියන් හෝ seasonal කයියන් බවට පත්වේ. එවැනි බයියන් තමන් බයියෙක් බව දන්නේද නැත. එම නිසා බයියන් හඳුනාගැනීම ඉතා වැදගත් වේ. 

බයියන් ස්වභාවිකවම binary ය. බයියන්ට අනුව ඔනෑම දෙයක් ප්‍රගතශීලි හෝ ප්‍රතිගාමී ලෙස ඉතා පැහැදිලිව බෙදා දැක්විය හැක. ගොඩක් ඉස්සර පීඩක සහ පිඩිත පන්තිය ලෙස කොටස් දෙකකට බෙදීය. ඊට පස්සෙ ජාති ද්‍රෝහී සහ එහෙම නොවන ලෙස කොටස් දෙකකට බෙදල ලදී. දැන් දුෂිතයන් සහ එසේ නොවන ලෙස කොටස් දෙකකට බෙදීය. මේ කොටස් දෙකෙන් මොකකට අයිති වෙනවද කියා තීරණය වන්නේ රැල්ල පැත්තේ ඉන්නවද, අනිත් පැත්තේ ඉන්නවද කියන එක අනුවය. 

ඉස්සර ඇට බෝල ක්‍රීඩාව ප්‍රගතශීලි දෙයකි. එයාලට සපෝට් කල යුතුය. අනිත් ටීම් එකට සපෝට් කරන අය ජාති ද්‍රෝහින්ය. මේ දවස් වල රැල්ල අනිත් පැත්තට ගොස් ඇති නිසා ඇට බෝල ප්‍රතිගාමීය. ඇට බෝල ගැසීමත්, ඒවා බැලීමත් ප්‍රතිගාමී දෙයකි. කෑ කෝ පප්පන් වැනි කළා කාරයන් ඉස්සර සර් ට කඩේ යෑම ප්‍රගතශීලි දෙයකි. දැන් ඒක ප්‍රතිගාමී වී ඇත. ඒ පප්පන්ම ඉස්සර මාලුමාමට කඩේ ගියොත් උන් ජාතියක් ජන්මයක් නැති අවජාතකයෝය. දැන් කඩේ ගියොත් ප්‍රගතශිලිවේ. ඉස්සර වැඩ නොකර කෑ කෝ ගසන අය ප්‍රතිගාමීය. දැන් රැල්ල වැඩ නොකිරීමය. ඒ නිසා වැඩ නොකර පාර දිගේ කෑ කෝ ගැසීම ප්‍රගතශීලිය. ප්‍රගතශීලි කියල හිතන් ඉන්න එකෙක් නරක එකෙක් එක්ක බස් එකේ ගියත් එකා ප්‍රතිගාමී වේ. කොච්චර ප්‍රතිගාමී එකෙක් උනත් රැල්ල පැත්තට මාරු උනොත් එකා ප්‍රගතශීලිවේ. 

මේ දවස් වල ප්‍රතිගාමීත්වයේ සංකේතය හාමුය. ඒ නිසා කලිසම ඉස්සිමේ සිට බදු ගැසීම දක්වා හාමු කරන හැම දේම වැරදිය. හාමු කරන දේවල් කරන හෝ හාමු ඉන්න තැන සිට මීටර් 100 ක අරයක් ඇති රවුමක් තුල සිටින ඕනෑම කෙනෙක් ප්‍රතිගාමියෙකි. ප්‍රගතශීලිතත්වයේ සංකේතය අන්රයියාය. කෙහෙල් කොලේ බත් කෑමේ සිට බොරු කීම දක්වා අන්රයියා කරන ඕනෑම ක්‍රියාවක් ප්‍රගතශීලී වේ. අන්රයියා ඉන්න තැන සිට මීටර් 100 ක අරයක් ඇති රවුමක් තුල සිටින ඕනෑම කෙනෙක් ප්‍රගතශිලියෙකි. පප්පන්ට නොයෙක් නොයෙක් අදහස් ඇති බවත්, නොයක් අය නොයෙක් දේවල් වලට කැමති බවත්, විවිධත්වයක් ඇති බවත්, ඕනෑම පප්පෙක් සම්පුර්ණයෙන්ම හොඳ හෝ නරක නැති බවත් බයියන් නොදනී.