Monday, March 27, 2023

ගම් සභාවෙන් කඩයක් කිරීම

 අනේ ඉතින් ගම්සභාවට ගානක් හොයා ගන්න හිතල රොටි කඩයක් දැම්ම. ඔය රොටි කඩේ ගැන තීරණ ගන්න රොටි ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති ඇතුලු රොත්තක් දමා එයාලට ලේකම්, උපලේකම් ඇතුළු තවත් රොත්තක් වැඩට ගත්ත. එයාලට අවශ්ය වාහන, ආරක්ෂාව වගේ ඒවත් දුන්න. අනේ ඉතින් රොටි හදන්න නිකන්ම බෑනේ, ඒකට උපකරණ, ගොඩනැගිලි, යන්තර සූත්තර ඇතුළු දේවල් හැටහුටාමාරක් ඕනනෙ. ඉතින් ඕවට යට කරන්න ගමේ සල්ලි නැති නිසා පොලී මුදලාලිගෙන් ණයකුත් ගත්ත. රොටි සැදීමට පිටි, පොල්, ළුණු, තෙල් ඕනනෙ. ඉතින් ඔය එක එක වැඩේට වෙනවෙනම අංශ හදල ඒවාට පප්පල රොත්තක් රස්සාවට ගත්ත. ඉතින් පප්පල එළකිරි වගේ වැඩේ කරනවද බලන්න මැනේජර් පප්පලාද, ගිණුම් බලන පප්පලාද, අධ්‍යක්ෂ මණ්ඩලය, ලේකම්, උප ලේකම්, සභාපති ඇතුළු එකී නොකී මෙකී සියලු තනතුරු සඳහා නියාමන පප්පලව වැඩට ගත්ත.

දැන් එළකිරි වගේ රොටි හැදෙනව. පප්පලාට හරිම සතුටුයි. දැන් අපේ ගමෙත් රොටි කඩයක් තියනව කියල එයාල ආඩම්බරයෙන් සිටියි. රොටි කඩේ වැඩකරන පප්පලාට ගම්සභාවෙන් කොහොමත් පඩි ගෙවයි. පප්පලත් හරි කම්මැලියි. ඉතින් එයාල වැඩ නොකරම පඩි ගනියි. ඒ මදිවට වැඩ නොකරන සමිතියක් සාදා නියාමන පප්පලාට තග දමයි. ඉතින් නියාමන පප්පලා නියාමනය නොකර නිදා ගනියි. රොටි ඇමති ණය වලින් හොරා කයි. කවුරුවත් කාටවත් වගවෙන්නේ නැත. අනේ ඉතින් පප්පල රොත්තකට පඩි ගෙවල, තව ණයයි පොළියයි ගෙවල, රොටි ඇමති ඇතුළු සෙට් එකටත් ගෙවල තව පප්පල ජරාව කන එකටත් ගෙව්වාම රොටියක් හෙන ගණන්ය.

අනේ ඉතින් පප්පල රොටි ගන්න කඩේට ගියේය. රොටියක් අස්ප ගණන්ය. ඉතින් එයාලට මළ පැන රොටි ඇමතිට බැන්නේය. ඉතින් රොටි ඇමති බයවී රොටියට පාලන මිලක් දැම්මේය. දැන් රොටි කඩේ ආදායමට වඩා වියදම වැඩිවී රොටි විකුනන්නේ පාඩුවටය. ඉතින් පාඩුව කවර් කරන්න රොටි බද්දක් ගැහුවේය. දැන් රොටි ගන්න පප්පලාටත් පාඩුය. කඩේ පාඩු නිසා පප්පලාට පඩි ගෙවන්නෙත් අඩුවෙන්ය. ඉතින් වැඩ නොකරන පප්පලාටත් පාඩුය. කඩේ ආදායම අඩු නිසා ගෑස්‌ වලටත් ලයිට් වලටත් සල්ලි ගෙවා නැත. ඉතින් ගෑස් පප්පටයි, ලයිට් කපන මණ්ඩලයටයිත් පාඩුය. අනේ ඉතින් ණයයි පොළියයි ගෙවාගන්න බැරි වෙච්ච නිසා පොළී මුදලාලිටත් පාඩුය. ණය ගෙවන්නේ නැති නිසා තවත් ණය දෙන්න බෑ කියා පොළී මුදලාලි කිව්වේය. ඉතින් ණය නැතිව ජරාව කන්න බැරි වෙලා රොටි ඇමතිලාටත් පාඩුය.

අනේ ඉතින් හැමෝටම පාඩුනන් මොන මගුලකට මේක තවත් කරනවද කියල හිතල, ලොකු පප්ප රොටි කඩේ විකුනන්න දැම්මේය. ඒක අසා පප්පලාට මළ පැන්නේය. රොටි කඩේ අපේ සම්පතක්, ඒක එහෙම පිට ගම්වලට දෙන්න පුළුවන්ද කියා කට්ටියක් ඇසුවේය. අපි තුන් වේලටම කන්නේ රොටි. ඉතින් පිට ගමේ එකෙක් රොටි කඩේ අරගෙන රොටි හදන්නේ නෑ කිව්වොත් අපි කන්නෙ දත්මිටිද, ඒක ගමේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියල තව කට්ටියක් කිව්වේය. පිට ගමක එකෙකුට කඩේ දුන්නොත් ඌ ලාබය උගේ ගමට අරගෙන යයි. එතකොට අපිට දුකයිනේ, ඊට වඩා හොඳයි පාඩුවට හරි රොටි කන එක කියල තව කට්ටියක් කිව්වේය. ඔය රොටි කඩේ කරන හැටි වැරදියි, මුලින්ම වැඩ නොකරන සමිතිය සිල් ගන්නවන්න ඕන. එතකොට එයාල හොරකන් කරන්නේ නෑ. තව ෂුවර් නැත්තන් එක රොටියකට එක කෑමරාව ගානෙ දාල ඒක බලන්න ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් දාන්න ඕන, ඊට පස්සේ පප්පලගේ බඩේ සයිස් එක මැනල, බඩවල් වල පරිමාවයි රොටි වල පරිමාවයි බැලන්ස් වෙන විදියට පිටි ප්‍රමාණය ඔප්ටිමයිස් කරන්න ඕන, ඩොලර් එකත් එක්ක රොටි පරිභෝජනයේ ෆ්ලක්චුවේෂන් එකට අදාළ ඩේට ඔක්කොම අරගෙන ඒක හොඳට අඹරල තලල චැට් ජීපීටී එකට දැම්මාම හදන්න ඕන රොටියේ විෂ්කම්බය අන්තිම නැනෝ මිටරයටම ගන්න පුළුවන් කියල අලුතෙන් අන්රයියට සෙට් වෙච්ච චතුරංග මල්ලි ඩේට ඇනලයිස් කරන ගමන් කිව්වේය.

අනේ ඉතින් කඩේ බංකොලොත් වී රොටිත් නැත. කඩේ වැඩ කරපු පප්පලගේ රස්සාවලුත් නැත. කඩේට ණය දීපු පොලී මුදලාලිත් නැත, එයාගෙ සල්ලිත් නැත. තෙල් වලට, ගෑස් වලට, ලයිට් වලට පොලු තියපු නිසා ඒවත් නැත. කඩේ පරණ යකඩ වලටවත් විකිනෙන්නේ නැත. අන්තිමට කඩේ දාපු සර් ත් නැත.

Sunday, March 26, 2023

ජෙපි න්‍යායට අනුව ගම ගොඩ දැමීම

ජෙපි න්‍යායට අනුව ණය ගන්නාවිට කොන්දේසි දැමිය යුත්තේ සීසර් අයියා නොව ටිංටිං අන්කල්ය. අනේ ඉතිං සීසර් අයියාට මොලේ අමාරුවක් නැති නිසා ණය දෙන්නේ නැත. මේ අතර ටිංටිං අන්කල් සිතන්නේ ගම කැවේ ණය ගත්ත නිසා කියාය. ඉතිං ප්‍රශ්නය ණය නම් උත්තරයත් ණය නොවන බව අංකල් කියයි. ඒ නිසා ණය ගැනීමේ අදහසක් කොහොමත් නැත. ජෙපි න්‍යායට අනුව මුලින්ම කලයුත්තේ අන්රයියා ලොකු පප්පා කිරීමය. ඊට පසු අන්රයියා විසින් හතර පෝයටම සිල් ගන්නා, රහසින්වත් පවු නොකරන පප්පලා 20 දෙනෙකුගෙන් යුත් කැබිනට් එකක් පත් කරයි. ඒවගේ සත් ගුණවත් පුද්ගලයන් සොයා ගැනීම එතරම් අපහසු නොවේ. ඔවුන් දැනටමත් ජෙප්පන්ගේ විධායක කමිටුවේ සිටී. අන්රයියා විසින් විධායක කමිටුවේ නම කැබිනට් එක ලෙස වෙනස් කරයි. වැරදිලාවත් කමිටු පප්පන් චන්දෙන් පැරදුනත් අවුලක් නැත. චන්දෙන් දිනපු අය ඉල්ලා අස්කරවා කමිට්ටන් ඇතුලට දාගනී. එය මිට පෙරත් කර ඇති නිසා experience ඇත.

අනේ ඉතින් විධායක කමිටුව කැබිනට් එක වීම නිසා පස්වනක් ප්‍රීතියට පත්වන රටගිය පප්පන් හෝල්සේල් එකේ ඩොලර් එවීමට පටන් ගනී. දැනට ලැබෙන ඩොලර් මිලියන 500, ඩොලර් බිලියන 2 දක්වා ඉහලනගී. ඒ මොකද කියල අහන්න එපා, එහෙම තමයි. එතකොට තෙල් ඕනෑ තරම් මිලදී ගෙන, නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනයටත් වියදම් කර, පඩිත් වැඩිකර, බඩුත් අඩුකර, බදුත් නැතිකර, ඉතිරි වෙන ගානින් ජිම් එකටත් යාහැක. අනේ ඉතින් අවුරුද්දකට ණය ඩොලර් බිලියන 7ක් ගෙවන්න තියනවනේ, ඒක කරන්නේ කොහොමද කියා ප්‍රතිගාමී බලවේග අසයි. එවිට ඇයි මේ කලබලේ, ටිකක් කල්පනා කර බලන්න, කියා අන්රයියා කියයි.

ණය ගෙවීමට ජෙප්පන්ගේ ක්‍රමය 2ක් ඇත. පලවෙනි ක්‍රමය හොරපප්පලා හොරකං කරපු ඩොලර් ආපහු ගෙන්වා ගැනීමයි. මුලින්ම හොර පප්පලා ටික අල්ලා ගනී. දැනටමත් හොර පප්පලා කවුද කියා දන්නා නිසා සහ ෆයිල් තියන නිසා වැඩේ හරිම ලේසියි. ඊටපසු හොර පප්පලා කකුල් දෙකින් එල්ලා කිතිකවා සල්ලි කොහේද කියා ප්‍රශ්න කරයි. අනේ ඉතින් හොරපප්පලා සල්ලි ගෙදර තියාගන්නේ නැත. ඒවා වෙන වෙන අයගේ නම්වලින් වෙනත් රටවල් වල තැන්පත් කිරීම, දේපල මිලදී ගැනීම, ව්‍යාපාර කිරීම වැනි දේ සිදුකරයි. ඉතින් අන්රයියා කොහොමහරි මේ නම් ලිස්ට් එකත්, සල්ලි ගැන සියලු විස්තරත් සොයා ගනී. බොහෝ විට මේ සල්ලි තැන්පත් කරන්නේ පප්ප ගමටත් වඩා චාටර් වෙච්ච උගන්ඩාව වගේ රටවල්ය. නැත්තං ස්විස්ටර්ලන්තයේ රහස් බංකු වලය. ඉතින් අන්රයිය මේ විස්තර ටික අදාළ රටවල් වලට යවයි. ඒ රටවල් වලට අන්රයියා පණමෙන් විස්වාසය. ඉතින් කියන පරක්කුවෙන් හොර පප්පලා ටික අල්ලාගෙන, අම්බානකට නෙලා, සල්ලි පප්ප ගමට එවයි. මේ මගින් සෑම අවුරුද්දකටම ඩොලර් බිලියන 10ක් ලැබේ. එම මුදලින් ණයත් පොලියත් ගෙවා තව ජිම් යන්නත් පුළුවන.

ණය ගෙවීමේ දෙවන ක්‍රමය නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමයි. අනේ ඉතින් ඕක කරගන්න බැරිවී ඇත්තේ ගම්සභාවේ කඩ වලට වැඩ බැරි හොර පප්පන් පත්කර ඇති නිසාය. ඉතින් ගම්සභාවේ කඩ පාඩු ලැබීමට විසඳුම කඩ විකිණීම නොව ලාබ ලබන කඩ බවට පත් කිරීම බව ටිංටිං අන්කල් කියයි. ඉතින් ගම්සභාවේ කඩ 500ට ලොක්කන් 500කුත්, දෙවෙනි ලොක්කා, තුන්වෙනි ලොක්කා, අධක්ෂ මණ්ඩලය, තව ලේකම්ලා, භාණ්ඩාගාරිකලා, එක එක අංශ වල ප්‍රධානින්, ඔවුන්ගේ ලේකම්ලා, ඔවුන්ව සන්බන්ධිකරණය කරන පප්පලා, ඇතුළු එකී මෙකී නොකී විධායක තනතුරු වලට, සතර පෝයටම සිල් ගන්න, රහසින්වත් පවු නොකරන, පඩි නොගෙන වැඩ කරණ උපාසක බළල්ලු අසුහාරදාහකුත් තවත් එකක් පත් කරයි. ඔවුන් පවු නොකිරීම පමනක් නොව ව්‍යාපාර කළමනාකරණයේ අත්දැකීම් සම්භාරයක් ඇති අතිදක්ශයන්ද වේ. ඔය වගේ කොලිටි බඩු මෙච්ච්ර කාලයක් හිටියේ කොහෙද කියා අහන්න එපා. අන්රයියා කොහෙන් හරි හොයාගෙන වැඩේ කරනව.

අනේ ඉතින් ඊට පස්සේ වැඩේ හරිම ලේසියි. ඊළඟට කරන්නෙ කාර්යක්ෂමතාවය වැඩි කරන එක. එකට අවශ්ය යන්තර සුත්තර සහ දැනුම රට ගිය සහෝදර පප්පන් නොමිලේම ලබා දෙනව. ඒ මොකද කියල අහන්න එපා, එහෙම තමයි. ඉතින් ගම්සභාවේ විධායක පප්පන් සිල් ගන්නා නිසා ඔවුන් දෙස බලා වැඩ නොකරන පප්පලාද සිල් ගන්නට පටන් ගනී. එතකොට එයාලා ඉබේම හොරකන් නොකරන පප්පලා බවට පත් වේ. ඊට පසු නිෂ්පාදනය වැඩි කිරීමට ඔවුන් දිවා රැ නොබලා වැඩ කරයි. අනේ ඉතින් දිවා රැ නොබලා වැඩ කිරීම කම්කරු නීති වලට විරුද්ධය. අන්රයියා කම්කරු නීති පණමෙන් රකී. ඒ නිසා පප්පලාට වැඩ කරන්න එපා යයි කියයි. ඒත් පප්පලා කියන දෙයක් අහන්නේ නැතිව අම්බානට වැඩ කරයි. වැඩ කරනවානන් කමක් නැත. පඩිත් එපා කියකිය තව බදුත් ගෙවයි. අන්රයියා කොච්චර එපා කිව්වත් අහන්නේ නැත.

අනේ ඉතින් ගම්සභාවේ ආදායම නහුතෙට නගී. ඒ සල්ලි වලින් අන්රයියා බඩු මිළ අඩුකර, පඩි වැඩිකර, හැමෝටම ගම් සභාවේ රස්සාවල්ද ලබාදේ. ණයත් පොලියත් ගෙවා ඉතුරු සල්ලි වලින් ගමේ විශ්ව විද්‍යාල සාදා හැමෝටම උපාධියක් ලබාදේ. ඔපරේෂන් නොමිලේ කර තව සල්ලිත් දෙයි. වැඩ නොකරන අයටත් ආදායම් අඩු අයටත් නිකන්ම සල්ලි දෙයි. එයාලා එපාම කියයි. ඒත් බලෙන්ම දෙයි. අනේ ඉතින් කොච්චර හොඳද අම්මපා. ඔබත් කල්පනාකාර බලන්න. මේ පාර මාළු මාමටයි.