අනේ ඉතින් ගම්සභාවට ගානක් හොයා ගන්න හිතල රොටි කඩයක් දැම්ම. ඔය රොටි කඩේ ගැන තීරණ ගන්න රොටි ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති ඇතුලු රොත්තක් දමා එයාලට ලේකම්, උපලේකම් ඇතුළු තවත් රොත්තක් වැඩට ගත්ත. එයාලට අවශ්ය වාහන, ආරක්ෂාව වගේ ඒවත් දුන්න. අනේ ඉතින් රොටි හදන්න නිකන්ම බෑනේ, ඒකට උපකරණ, ගොඩනැගිලි, යන්තර සූත්තර ඇතුළු දේවල් හැටහුටාමාරක් ඕනනෙ. ඉතින් ඕවට යට කරන්න ගමේ සල්ලි නැති නිසා පොලී මුදලාලිගෙන් ණයකුත් ගත්ත. රොටි සැදීමට පිටි, පොල්, ළුණු, තෙල් ඕනනෙ. ඉතින් ඔය එක එක වැඩේට වෙනවෙනම අංශ හදල ඒවාට පප්පල රොත්තක් රස්සාවට ගත්ත. ඉතින් පප්පල එළකිරි වගේ වැඩේ කරනවද බලන්න මැනේජර් පප්පලාද, ගිණුම් බලන පප්පලාද, අධ්‍යක්ෂ මණ්ඩලය, ලේකම්, උප ලේකම්, සභාපති ඇතුළු එකී නොකී මෙකී සියලු තනතුරු සඳහා නියාමන පප්පලව වැඩට ගත්ත.
දැන් එළකිරි වගේ රොටි හැදෙනව. පප්පලාට හරිම සතුටුයි. දැන් අපේ ගමෙත් රොටි කඩයක් තියනව කියල එයාල ආඩම්බරයෙන් සිටියි. රොටි කඩේ වැඩකරන පප්පලාට ගම්සභාවෙන් කොහොමත් පඩි ගෙවයි. පප්පලත් හරි කම්මැලියි. ඉතින් එයාල වැඩ නොකරම පඩි ගනියි. ඒ මදිවට වැඩ නොකරන සමිතියක් සාදා නියාමන පප්පලාට තග දමයි. ඉතින් නියාමන පප්පලා නියාමනය නොකර නිදා ගනියි. රොටි ඇමති ණය වලින් හොරා කයි. කවුරුවත් කාටවත් වගවෙන්නේ නැත. අනේ ඉතින් පප්පල රොත්තකට පඩි ගෙවල, තව ණයයි පොළියයි ගෙවල, රොටි ඇමති ඇතුළු සෙට් එකටත් ගෙවල තව පප්පල ජරාව කන එකටත් ගෙව්වාම රොටියක් හෙන ගණන්ය.
අනේ ඉතින් පප්පල රොටි ගන්න කඩේට ගියේය. රොටියක් අස්ප ගණන්ය. ඉතින් එයාලට මළ පැන රොටි ඇමතිට බැන්නේය. ඉතින් රොටි ඇමති බයවී රොටියට පාලන මිලක් දැම්මේය. දැන් රොටි කඩේ ආදායමට වඩා වියදම වැඩිවී රොටි විකුනන්නේ පාඩුවටය. ඉතින් පාඩුව කවර් කරන්න රොටි බද්දක් ගැහුවේය. දැන් රොටි ගන්න පප්පලාටත් පාඩුය. කඩේ පාඩු නිසා පප්පලාට පඩි ගෙවන්නෙත් අඩුවෙන්ය. ඉතින් වැඩ නොකරන පප්පලාටත් පාඩුය. කඩේ ආදායම අඩු නිසා ගෑස් වලටත් ලයිට් වලටත් සල්ලි ගෙවා නැත. ඉතින් ගෑස් පප්පටයි, ලයිට් කපන මණ්ඩලයටයිත් පාඩුය. අනේ ඉතින් ණයයි පොළියයි ගෙවාගන්න බැරි වෙච්ච නිසා පොළී මුදලාලිටත් පාඩුය. ණය ගෙවන්නේ නැති නිසා තවත් ණය දෙන්න බෑ කියා පොළී මුදලාලි කිව්වේය. ඉතින් ණය නැතිව ජරාව කන්න බැරි වෙලා රොටි ඇමතිලාටත් පාඩුය.
අනේ ඉතින් හැමෝටම පාඩුනන් මොන මගුලකට මේක තවත් කරනවද කියල හිතල, ලොකු පප්ප රොටි කඩේ විකුනන්න දැම්මේය. ඒක අසා පප්පලාට මළ පැන්නේය. රොටි කඩේ අපේ සම්පතක්, ඒක එහෙම පිට ගම්වලට දෙන්න පුළුවන්ද කියා කට්ටියක් ඇසුවේය. අපි තුන් වේලටම කන්නේ රොටි. ඉතින් පිට ගමේ එකෙක් රොටි කඩේ අරගෙන රොටි හදන්නේ නෑ කිව්වොත් අපි කන්නෙ දත්මිටිද, ඒක ගමේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියල තව කට්ටියක් කිව්වේය. පිට ගමක එකෙකුට කඩේ දුන්නොත් ඌ ලාබය උගේ ගමට අරගෙන යයි. එතකොට අපිට දුකයිනේ, ඊට වඩා හොඳයි පාඩුවට හරි රොටි කන එක කියල තව කට්ටියක් කිව්වේය. ඔය රොටි කඩේ කරන හැටි වැරදියි, මුලින්ම වැඩ නොකරන සමිතිය සිල් ගන්නවන්න ඕන. එතකොට එයාල හොරකන් කරන්නේ නෑ. තව ෂුවර් නැත්තන් එක රොටියකට එක කෑමරාව ගානෙ දාල ඒක බලන්න ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් දාන්න ඕන, ඊට පස්සේ පප්පලගේ බඩේ සයිස් එක මැනල, බඩවල් වල පරිමාවයි රොටි වල පරිමාවයි බැලන්ස් වෙන විදියට පිටි ප්‍රමාණය ඔප්ටිමයිස් කරන්න ඕන, ඩොලර් එකත් එක්ක රොටි පරිභෝජනයේ ෆ්ලක්චුවේෂන් එකට අදාළ ඩේට ඔක්කොම අරගෙන ඒක හොඳට අඹරල තලල චැට් ජීපීටී එකට දැම්මාම හදන්න ඕන රොටියේ විෂ්කම්බය අන්තිම නැනෝ මිටරයටම ගන්න පුළුවන් කියල අලුතෙන් අන්රයියට සෙට් වෙච්ච චතුරංග මල්ලි ඩේට ඇනලයිස් කරන ගමන් කිව්වේය.
අනේ ඉතින් කඩේ බංකොලොත් වී රොටිත් නැත. කඩේ වැඩ කරපු පප්පලගේ රස්සාවලුත් නැත. කඩේට ණය දීපු පොලී මුදලාලිත් නැත, එයාගෙ සල්ලිත් නැත. තෙල් වලට, ගෑස් වලට, ලයිට් වලට පොලු තියපු නිසා ඒවත් නැත. කඩේ පරණ යකඩ වලටවත් විකිනෙන්නේ නැත. අන්තිමට කඩේ දාපු සර් ත් නැත.