Saturday, March 23, 2024

දේශපාලනික වීම සඳහා කඩේ යන පප්පන්

 අනේ ඉතින් පප්ප ගමේ දේශපාලන පක්ෂ හැට හුටාමාරක් ඇත. ඒවායින් බහුතරයක් දේශපාලනය නොකරන නිකන්ම නිකන් කල්ලිය. පප්ප ගමේ ප්‍රධාන කල්ලි පහත දැක්වේ. 


1. හොර පූට්ටුවේ කල්ලිය 

මේ කල්ලිය හොර පරම්පරාව ලොකු පප්පන් කිරීමේ පරමාර්ථයෙන් පිහිටුවාගත් කල්ලියකි. කල්ලියේ ලොක්කා මහා හොර පප්පාය. ඊට පසු ලොක්කා මල් කුමාරයාය. ඊට පසු මල් කුමාරයාගේ පුත් කුමාරයාය. ගමේ ඉතිරි තනතුරත් ලොකුම හොරුන්ට බෙදා දෙයි. මේ කල්ලියට දේශපාලන දර්ශනයක් නැත. ඒ ඒ දවස් වලට මාකට් වෙන ප්‍රඩක්ට් එකක් ප්‍රමෝට් කර බලය ලබා ගනී. සාමය විකිනෙන කලට සාමය විකුණයි. යුද්ධය විකිනෙන කලට යුද්ධය විකුණයි. ආගම විකිනෙන කලට ආගම විකුණයි. ජාතිය විකිනෙන කලට ජාතිය විකුණයි. ආරක්ෂාව විකිනෙන කලට ආරක්ෂාව විකුණයි. කොටි විකිනෙන කලට කොටි විකුණයි. හලාල් විකිනෙන කලට හලාල් විකුණයි. කොත්තු විකිනෙන කලට කොත්තු විකුණයි. යුක්තිය විකිනෙන කලට යුක්තිය විකුණයි. 


2. මෝඩ පුතානෝගේ කල්ලිය 

මේක මරණාධාර සමිතියක් වගේ එකකි. ගමට පුටු ඕන උනාම පුටු බෙදයි. කුඩාරම් ඕන උනාම කුඩාරම් බෙදයි. බස් ඕන උනාම බස් බෙදයි. මහන මැෂින් ඕන උනාම මහන මැෂින් බෙදයි. ලයිට් බිල් ගෙවන්න ඕන උනාම සීට්ටුවක් දාල බිල් ගෙවයි. මේකටත් කිසිම දේශපාලන දර්ශනයක් නැත. මොලේ තියන පප්පන් කිහිපදෙනෙක් වෙන යන්න තැනක් නැතුව මේකෙ රිංගගෙන හිටයට ඔවුන්ටත් කිසිම තැනක් නැත. මෝඩ පුතානෝ බයිල ගහ ගහ සිටියි. 


3. මාළු මාමාගේ කල්ලිය 

මේක වැඩ නොකර බැන බැන සිට අනුන්ගෙන් කා ආතල් එකක් ගැනීමට පිහිටුවාගත් කල්ලියකි. අනිත් කල්ලි ඔක්කොම පිස්සු කෙලපු නිසා මේ සීසන් එකේ මාළු මාමාගේ කල්ලිය ජනප්‍රියය. මේ කල්ලියටද දේශපාලන දර්ශනයක් නැත. විටෙක IMF නරකය. විටෙක හොඳය. විටෙක මහා භාරතය නරකය. විටෙක හොඳය. විටෙක අදානි සහෝදරයාට බනියි. විටෙක හොඳ කියයි. විටෙක අමුල් නරකය. විටෙක හොඳය. දුෂණයට විරුද්ධය. ඒත් දුෂණය නැති කරන වැඩ පිළිවෙලක් නැත. දුෂණය නැති කරන ප්‍රධාන ක්‍රියා මාර්ග වන රජය කුඩා කිරීම, tax ෆයිල් දැමීම, tin නම්බර් දීම, තෙල් විදුලිය වගේ ඒවා තරඟකාරීව විකිණීම වගේ හැම මගුලකටම විරුද්ධය. අපනයන ආර්ථිකයක් ගැන කතා කරයි. ඒත් ආයෝජකයන් ලාභය අරගන යනවා කියා ඒකට විරුද්ධය. පර්මිට් ලයිෂන් නැති කර ඕනෑම පප්පෙකුට බිස්නස් කිරීමේ අවස්තාව ලබා දීමට විරුද්ධය. රෝමය සමග වෙළඳ ගිවිසුම් වලට විරුද්ධය. ඒවා කරාම රෝමන් කාරයන් මේක අස්සේ රිංගල පප්පනට ජොබ් නැතිවෙන බව කියයි. ආනයන අපනයන කොන්දේසි, පර්මිට් ලයිෂන් සහ බදු අඩු කර ආර්ථිකය නිදහස් කිරීමට විරුද්ධය. අන්රයියා ලිබරල් ආර්ථිකයක් ගැන කියනකොට ලාල් අන්කල් සමාජවාදය ගැන කියවයි. හරිනි අක්කා කාන්තා නිදහස ගැන කතා කරන කොට ටිං ටිං අන්කල් අපි ඕවට නැ කියයි. කියන දේ නොකරයි. නොකියන දේත් නොකරයි. එක එක අය එක එක දේ කියයි. කවුරුවත් මුකුත්ම නොකරයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කයියනායකයන්ය. 


4. හාමුගේ කල්ලිය 

මේ කල්ලිය හාමු සහ සමනලයින් දුසිමකින් සෑදී ඇති කල්ලියකි. හාමුට මැරෙන්න කලින් කරගන්න අවශ්‍ය අශාවල් වගයක් ඇත. මේ කල්ලියේ අරමුණ එම ආශාවන් ඉටු කර ගැනීමට හාමුට උදව් කිරීම සහ වැඩවසම් ක්‍රමය පවත්වාගෙන යාමය. හාමුට පොඩි දේශපාලන හා ආර්ථික දැනුමක් ඇත. රෝමන් කාරයන් හිතන්නේ පප්ප ගමේ අබ ඇටයක් හරි මොලේ තියෙන්නේ හාමුට බවය. ඒ නිසා හාමු රෝමේ පිහිටෙන් වැඩේ කරගෙන යයි. 


අනේ ඉතින් පප්ප ගමේ පප්පන් දන්න දේශපාලනයක්ද නැත. ඔවුන් හිතන්නේ මේ කල්ලි වලින් එකකට කඩේ යෑම දේශපාලනික වීම කියාය. ඇත්තටම කිව්වොත් ප්‍රතිපත්තියක් නැති කල්ලි වලට කඩේ යෑම යනු දේශපාලනික නොවීමය.