Wednesday, June 26, 2024

ආරංචිය සුභයි

 අනේ ඉතින් අවුරුදු දෙකහමාරක් හිසේ දරාගෙන සිට අන්තිමේදී හාමුට බබා හම්බු විය. ආරංචිය සුභය. කොච්චර සුභද කියනවනං පප්ප ගමේ පප්පන් පස්වනක් ප්‍රීතියට පත් වී උම්බෑ කියයි. වැඩියෙන්ම ප්‍රීතියට පත්වී ඇති පප්පන් කොටස් තුනකට බෙදිය හැක. 

1. හොර පප්පන් 

හොර පප්පන් හිතාගෙන ඉන්නේ බබාව පෙන්වා සීසර් අයියාගෙන් ණයක් ගැනීමටය. ණයක් ගත්තොත් තව අවුරුදු 3ක් විතර හොරා කකා ෆුල් ආතල් එකේ ඉන්න පුළුවන් කියා සිතයි. 


2. බයියන් සහ ටොයියන් 

බයියන් සහ ටොයියන් හිතාගෙන ඉන්නේ තව අවුරුදු 5කින් බබා ඉස්කෝලේ යන බවය. ඔහොම ටිකෙන් ටික බබා ලොකුවී විභාග පාස් වේවි. ඊට පස්සේ බබා කැම්පස් යාවි. ඊට පස්සේ බබා ලොකු රස්සාවක් හොයා ගනීවි. ඊට පස්සේ ගෙයක් හදල අස්ප කරත්තෙකුත් අරගෙන, ලොකු දැවද්දක් එක්ක කසාදයක් බදිවි. ඊට පස්සේ ණය ටිකෙන් ටික ගෙවල 2048 වෙනකොට ණය නැති බබෙක් වේවි. එහෙම හිතාගෙන එයාල කිරිබත් කයි. 


3. කයියන් 

අනේ ඉතින් කයියන් මෙහෙම කියයි. කෝ ඉතින් බබා හම්බු උනාට එයා තාම ඉස්කෝලෙ යන්නෙ නැනේ. ඉස්කෝලේ යන්නේ නැතුව කොහොමද විභාගේ පාස් කරන්නෙ. විභාගේ පාස් නැතුව කොහොමද කැම්පස් යන්නේ. කැම්පස් යන්නෙ නැතුව කොහොමද රස්සාවක් හොයාගෙන, අස්ප කරත්තයක් අරගෙන, කසාදයක් බදින්නේ. හාමුට පිස්සුනේ. අපේ කයියනායක දෙවියන් නං මුලින්ම කරන්නේ රෝමේ ඉන්න පප්පන්ගෙන් කහවනු 500 ගානේ එකතු කරලා අස්ප කරත්තයක් ගන්නවා. බබාට කසාද බඳින්න ලොකු දැවද්දක් එක්ක ගැණු ළමයෙක් දැන්මම හොයල තියනවා. ඊට පස්සේ ගමේ කැම්පස් එකට දැන්මම ඇප්ලිකේෂන් එකක් දාල තියනව. විභාගේ පාස්ට් පේපර්ස් ටික දැන්මම එකතු කරලා තියා ගන්නව. 

අනේ ඉතින් එතකොට බබා හදන්නේ නැද්ද ඇහුවොත්, "බබා හම්බු උනාට වැඩක් තියනවද, එයා තාම ඉස්කෝලෙ යන්නෙ නැනේ. ඉස්කෝලේ යන්නේ නැතුව කොහොමද විභාගේ ...", ඔය කතාව ආපහු කියනව. ඊට පස්සේ අම්බානට හිනා වෙලා "හහා" එකකුත් දාල, ඔයා මොනවා කිව්වත් අපි මාළු මාමට කියල උඩ පැනපැන හිනා වෙනව. සුභ ආරංචිය නිසා වැඩිපුරම සතුටු වෙන්නේ කයියන්ය. බොරුනන් බුකියට ගිහින් බලන්න. 


අනේ ඉතින් ඔය විදියට ආරංචිය සුභය, හැමෝටම සතුටුය. යමක් කමක් තේරෙන පප්පන් තුෂ්නිම්භූත වී බලා සිටියි.