අනේ ඉතින් පප්ප ගමේ ආදායමට වඩා වියදම වැඩිවෙලා කෙලවීගෙන කෙලවීගෙන ගියා. ලොකු පප්ප බැලුව මෙහෙම ගියොත් පඩි දෙන්නත් බැරි වෙනවා. එතකොට පප්පලට මල පැනල මාව එලවයි කියල. ඉතින් එයා හිතුව බංකුවෙන් ණයක් අරන් පඩි ගෙවන්න. අනේ ඉතින් පඩි ගෙවන්න ණය ඉල්ලුවට කවුරුත් දෙන්නේ නෑනේ. ඉතින් ලොකු පප්ප බංකුවට කිවව මම මේ ණයෙන් පීසරොටි කඩයක් දාල ඒකෙන් එන ආදායමෙන් ණයයි පොළියයි දෙකම ගෙවනවා කියල. ලොකු පප්ප බංකුවෙන් කහවණු 5 ක් ණයට ගත්ත.
ලොකු පප්ප කහවණු 5න් එකක් හොරා කාල ඉතිරි 4 ඇමති පප්පට දීල මේකෙන් පිසරොටි කඩයක් දාල ණය ගෙවන්න කියල කිව්ව. ඇමති පප්ප කහවණු 4න් එකක් හොරා කාල ඉතිරි 3 නියාමන පප්පලට දීල මේකෙන් පිසරොටි කඩයක් දාල ණය ගෙවන්න කියල කිව්ව. නියාමන පප්පලට කහවණු 3න් එකක් හොරා කාල ඉතිරි 2 වැඩ නොකරන සමිතියෙ ලොක්කට දීල මේකෙන් පිසරොටි කඩයක් දාල ණය ගෙවන්න කියල කිව්ව. වැඩ නොකරන සමිතියෙ ලොක්ක කහවණු 2න් එකක් හොරා කාල ඉතිරි එක වැඩ නොකරන සමිතියෙ පප්පලට දීල කිව්ව, කහවනුවකින් කොහොමද පිසරොටි හදන්නේ ඔයාල පොල්රොටි කඩයක් වත් දාගන්න කියල. වැඩ නොකරන පප්පල කල්පනා කරා පොල් ගාන්නයි ලූනු කපන්නයි ගියාම අපිට වැඩ වැඩියි, පිටි විතරක් දාල රොටි හදනවා කියල. පප්පල පොල් රොටි හැදුවට ඒව පොල් රොටිම නෙවෙයි. පොලුත් නැ, තෙලුත් නෑ, ලූනුත් නෑ, අනේ ඉතින් මුකුත් නෑ, නිකංම නිකං පිටි ගුලි. බල්ලෙකුටවත් කන්න බැ.
අනේ ඉතින් පප්පල කෑ ගහන්න ගත්ත ලොකු පප්පා කහවනු 5ක් ණය අරන් කරපු මගුලක් නෑ. ලොකු පප්ප හොරා හොරා කියල. ලොකු පප්ප කිව්ව, මම ඇමති පප්පලට කහවනු දුන්න, මෙයාලට කිසි වැඩක් බෑ, හොරා හොරා කියල. ඇමති පප්පල කිව්ව අපි නියාමන පප්පලට කහවනු දුන්න, එයාලා නිදා ගත්ත, හොරා හොරා කියල. නියාමන පප්පල කිව්ව, අපි වැඩ නොකරන පප්පලට කහවනු දුන්න. එයාල වැඩ කරේ නෑ. අපි නියාමනය කරන්න ගියාම අම්බානකට නෙලුව, ඉතින් අපි නිදා ගන්නෙ නැතුව මොනව කරන්නද, හොරා හොරා කියල. වැඩ නොකරන පප්පල කිව්ව, ලොකු පප්පලයි, ඇමති පප්පලයි, නියාමන පප්පලයි ණයෙන් බාගයක්ම හොරා කැව, හොරා හොරා කියල.
අනේ ඉතින් පප්පල ඔක්කොම හොරා කාලා වැඩ කරන්නෙත් නැතුව එකිනෙකාට හොරා හොරා කිය කිය ඇනකොටා ගන්නව. ඔක්කොටම හේතුව ගම් සභාව ලොකු වීම බව කාටවත් තේරෙන්නෙත් නෑ, තේරෙන්න මොළේකුත් නෑ, මොළේ තිබ්බනං ඔච්චර කෙලෝගන්නෙත් නෑ. ඒපාර ලොකු පප්ප කිව්ව ඔයාල කළබල වෙන්න එපා, මම ණයක් අරන් වැඩේ ගොඩ දාන්නන් කියල. හැමෝම ලොකු පප්පට ජය වේවා කියල ගෙදර ගිහිල්ල නිදාගත්තා. ලොකු පප්ප බංකුවට ගිහිල්ල කිවව මේ පාර නං ප්රොමිස්, මම පිසරොටි කඩයක් දාල ණය ගෙවනව කියල. ඉතින් ලොකු පප්ප කහවනු 5ක් ණයට අරන් එකක් හොරාකාල 4ක්, ආ... ආපහු මුලටම ආව නේද. ඒක තමයි සිස්ටම් එකක් කියන්නේ. දැන් එළ කිරි වගේ ගම කාගෙන කාගෙන යනව. ඊළඟ පියවර වෙන දවසක ලියන්නං.