Thursday, March 14, 2024

හොර පප්පන්, අවංක පප්පන් සහ රෝමේ තියන හොර කරන්න බැරි සිස්ටම්

 අනේ ඉතින් පප්පගමේ ගම්සභාවේ ඉන්නේ හොර පප්පන්ය. හොර පප්පන් හොරකං කිරීම නිසා පප්ප ගම බංකොලොත් විය. ඒ නිසා පප්පන් හිතාගෙන ඉන්නේ අවංක පප්පන් ආවොත් ගොඩයන බවය. පප්පන් හිතාගෙන ඉන්නේ හොර පප්පන් සහ අවංක පප්පන් කියා ජාති දෙකක් ඉන්නා බවත්, අවංක පප්පන් (දැනට හොරකන් කර නැති පප්පන්) හොයාගෙන ජන්දෙ දුන්නොත් ගොඩ තමයි කියලාය. 

අනේ ඉතින් ඇත්ත ලෝකය තුල හොර පප්පන් සහ අවංක පප්පන් කියා ජාති දෙකක් නැත. හොරකන් කරනවද අවංක වෙනවද කියන එක තීරණය වෙන්නේ සිස්ටම් එකට අනුවය. හොරකන් කරන්න පුළුවන් සිස්ටම් එකකට දාන ඕන පප්පෙක් හොරකන් කරයි. හොරකන් කරන්නේ නැත්තන් ඒ සිස්ටම් එකේ සවයිව් වෙන්න බැරිය. ඒවගේම හොරකන් කරන්න බැරි සිස්ටම් එකකට දාන පප්පන්ට හොරකන් කරන්න බැරිය. හොරකන් කරොත් හිරේ යන්න වෙයි. ඇත්තටම පප්පන් මේ දවස් වල කලයුත්තේ හොරකන් කරන්න බැරි සිස්ටම් එකක් ගේන අයට චන්දය දීමය. ඒත් පප්පන් කරන්නේ අවංක පප්පන් බව එයාලම කියන  (දැනට හොරකන් කර නැති පප්පන්) පප්පන්ට චන්දය දීමය. 

හොරකන් කරන්න බැරි සිස්ටම් දැනටම රෝමේ හදා ඇත. පප්පන්ට ඒවා කොපි කරගත්තත් හොරකම සෑහෙන්න අඩු කරගන්න පුලුවන්ය. ඒවාගේ සිස්ටම් වලට උදාහරණ පහත දැක්වේ. 

  1. මිනිස්සු අයින් කර ඩිජිටල් කිරීම, ඔටෝමේට් කිරීම
    • බදු විස්තර, ඉඩම් විස්තර, ආදායම් විස්තර, වාහන විස්තර, බැංකු ගිණුම් වගේ ඔක්කොම කොම්ප්යුටරේට දමා එක අංකයක් යටතේ ගබඩා කිරීම. 
    • ලයිසන්, පර්මිට් වගේ දේවල් අයින් කිරීම. හොරකන් කරන්නේ මේවා මගිනි.
  2.  බදු ක්‍රමය හා ගනුදෙනු ක්‍රමවත් කිරීම 
    • බදු ක්‍රමය සරල කිරීම, බදු වර්ග අඩු කිරීම. හිතෙන හිතෙන වෙලාවට බදු ගහන්නයි, අයින් කරන්නයි බැරි කිරීම. බදු ප්‍රතිශතය අවුරුදු ගානක් එකම ගානට තියාගැනීම. 
    • ඔක්කොම ගනුදෙනු ඩිජිටල් කිරීම, QR කෝඩ්, ක්‍රෙඩිට් කාඩ්, දෙබිඩ් කාඩ්, ඩිජිටල් කරන්සි වගේ ඒවා භාවිතා කර සිදුකිරීම. ඒවා ආදායම් වලට ඉබේම එකතු කිරීම. 
  3. ගම් සභාව පොඩි කිරීම. 
    • ගම් සභාවෙන් කඩ දැමීම නැවත්වීම, ගමේ කඩ විකිණීම, ඇමති පප්පාට ඕන ඕන අය කඩවලට පත් කිරීමට බැරි කිරීම. ගමේ වැදගත් තනතුරු පත් කිරීම සඳහා ස්වාධින ආයතනයක් ඇති කිරීම. ගම් සභාවෙන් රස්සාවල් දීම නැවත්වීම. 
    • ගම් සභාවේ තියන සුළු වැඩ, උදාහරණ වශයෙන් කිව්වොත් ටොයිලට් සේදීම, ක්ලීනින් වැඩ, සික්‍යුරිටි වැඩ වගේ ඒවා අවුට්සෝස් කිරීම. ඒවා සඳහා ගම්සභාවෙන් රැකියා ලබා නොදීම. 
    • අවම නියාමනය. සිස්ටම් එක ඉබේම බැලන්ස් වෙන්න ඉඩ ඇරීම. බැලන්ස් වෙන්නේ නැති තැන්වල නියාමනය කිරීම. 
  4. check and balance 
    • ගනුදෙනු වල මිල ප්‍රමාණය අනුව check and balance ඇති කිරීම. උදාහරණයක් ලෙස මුදල අඩුනම් එක නිලධාරියෙකුට තීරණ ගන්න පුළුවන්, මුදල වැඩි නං තීරණ ගන්න නිලධාරින් වැඩි කිරීම. check වැඩි කිරීමෙන් කොස්ට් එක වැඩිවී තීරණ ගන්න යන කාලය වැඩිවේ. ඒ නිසා balance එක වැදගත්ය. optimize කරන්නේ කොස්ට් එක සහ කාලය මිස හොරකන් නොකිරීම නොවේ. ඒ නිසා optimized සිස්ටම් එකක උනත් පොඩි පොඩි හොරකන් වලට ඉඩ ඇත. 
    • ගම් සභාවෙන් ගන්න තීරණ වලට වගවීම. ඒවාට දඬුවම් කිරීම. 
    • නීතියට ඇඟිලි නොගැසීම

මෙහෙම සිස්ටම් එකක් හැදුවාම අවංක පප්පන් නොව වැඩ පෙන්වා ඇති, අද්දැකීම් ඇති, ප්‍රායෝගික, දක්ෂ පප්පන් හොයා ගම් සභාවට යවයි. ඔවුන් හොරකක් කරොත් සිස්ටම් එකට අහුවී හිරේ යයි. දක්ෂ නැත්තම් කොහොමත් ගෙදර යන්න වේ. අනේ ඉතින් රෝමේ එහෙම උනත් පප්ප ගමේ එහෙම නොවේ. පප්ප ගමේ වෙන්නේ අවංක (දැනට හොරකන් කර නැති පප්පන්) ඒත් ගොන් හරක් මෝඩ පප්පන් සෙට් එකක් ගම් සභාවට යැවීමය. සමහර පප්පන් අවංක පප්පන් වී ඇත්තේ ඇත්තටම අවංක නිසා නොව හොරකන් කරන්න තරන් වත් මොලයක් නැති වීමය. උදාහරණයක් වශයෙන් කට වරද්දාගෙන දඬුකඳේ ගැසූ වන්ෂොට් පප්පා ගැන හිතල බලන්න. 



Sunday, March 10, 2024

පප්ප ගමේ චන්ද සහ රෝමයේ චන්ද

 අනේ ඉතින් ඉඳල ඉඳල පප්ප ගමටත් චන්දයක් එනව වගේය. ලොකු පප්පා තෝරන චන්දය හෝ මහා පිස්සන් කොටුවේ චන්දය යන දෙකින් එකක් එයි. එනව කිව්වට මොන චන්දයක් එනවද කියල මෙලෝ යකෙක් දන්නේ නැත. අනේ ඉතින් ඒ උනාට පප්පල නං චන්දය දෙන එක්කෙනා දැනටමත් තෝරාගෙන රෙදි නැතිව කඩෙත් ගිහිනුත් ඉවරය. චන්දය මොකද්ද කියලවත් දන්නෙ නැතුව කාට චන්දෙ දෙනවද කියල තීරණය කිරීම දිව්‍ය ඥාණය තිබෙන පප්පන්ට සුළු දෙයකි. පප්පන් මීට කලිනුත් දිව්‍ය ඥාණය භාවිතා කර චන්දය දී කෙලවාගත් නිසා දැන් එයාලට පුරුදුය. 

පප්පන්ගේ වැඩ උදාහරණයකින් පැහැදිලි කළොත්, විභාගේ කවදද දන්නෙත් නැතුව, මොනවද එන විෂය කියල දන්නෙත් නැතිව, ප්‍රශ්න දන්නෙත් නැතුව උත්තරයක් ගහන්න සෙට් වෙනවා වගේය. ඉතින් ප්‍රශ්න දන්නෙ නැතුව, විභාගේ දන්නෙත් නැතුව උත්තර ලියන්න ගියාම කෙලවීම ස්වාභාවිකය. ඒත් ඉතින් මේ පාර කෙලවුනත් තව අවුරුදු 5කින් ගම බේරාගැනීමේ අන්තිම අවස්තාව එන නිසා අවුලක් නැත. 

රෝමන් කාරයන් චන්දෙ දෙනහැටි පප්පන්ට වඩා වෙනස්ය. රෝමන් කාරයන්ට පක්ෂයක් නැත. ඒ නිසා කඩේ යන්න ඕන නැත. චන්දය දෙන්න ඕන කෙනා ගැන හිතන්නෙ චන්දය ප්‍රකාශ කර චන්දෙට එන අය ගැන දැනගත්තාට පසුවය. හැබැයි ඉතින් රෝමන් කාරයන් චන්දයක් තිබුනත් නැතත් රෝමයේ ප්‍රශ්න ගැන ඇලර්ට් එකින් සිටී. ඒ නිසා උත්තර ගැනද යම් කිසි අවබෝධයක් ඇත. චන්දය ඉල්ලන අය කියන උත්තර හොඳට හොයල බලල වඩාත්ම ගැලපෙන උත්තරය කියපු කෙනාට චන්දය දෙයි. රැලි වලටවත්, බයිල වලට වත්, සින්දු වලට වත්, විහිලු කතා වලටවත්, රවුලටවත්, සරමටවත්, හිනාවටවත් චන්දය දෙන්නේ නැත. කෙලින්ම කිවුවොත් කඩේ යන්නේද නැත. හරක් රැලක් වගේ පෝලිමට ගොස් පුන්නක්කු බී ජයවේවා කියා තප්පුලන්නේද නැත. 

රෝමන් කාරයන් චන්දය දුන් පසු ආපහු ඒ ගැන කතා කරන්නේ නැත. ඉස්සර වගේ තමන්ගෙ වැඩ ටික කරගෙන සිටියි. චන්දය ඉවර උණු පසු විහිලු හෝ අපහාස කරන්නේද නැත. ඇත්තටම කිව්වොත් රෝමන් කාරයන් කඩේ යන්නේ නැති නිසා, මොන රෝමන් කාරය මොකාට චන්දය දුන්නද කියල කවුරුවත් දන්නේද නැත.