Thursday, June 1, 2023

ගම් පාලනයේ ව්‍යුහය

 පප්ප ගමේ පාලනය පහත සටහනේ දැක්වෙන ආකාරයට පිරමිඩාකාර ව්‍යුහයක් ගනී. පිරමිඩය ප්‍රධාන වශයෙන් ස්ථර 4කින් සමන්විතය. 

  1. මහ මොලකරු 
  2. කැම්පේන් මැනේජර් 
  3. බර උසුලන ශුරයා 
  4. බත් කන හරකා  

1 වන ස්තරය : මහ මොලකරු 

පප්ප ගමේ මහ මොළ කරුවන් කොටස් 3කට බෙදිය හැක. 

  • හාමු මහත්හොරු 
  • මහා හොර කල්ලිය 
  • කයියනායක සහෝදරහොරු 

"හාමු මහත්හොරු" යනු රදළ පැලැන්තිය සහ වැඩ වසම් ක්‍රමය පවත්වා ගැනීම වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ය. ඔවුන් පොහොසත් වන අතර හොරකම් කරන්නේ නිතියට අනුවය. නීති නැත්තම් නීති හදා ඒවාට අනුව හොරකම් කරයි. ඔවුන් ස්මාට්, ප්‍රසන්න, රෝමන් භාෂාව කතා කරන පුද්ගලයන් වේ. උදාහරණ වශයෙන් හාමු සහ සැටලයිට් දැක්විය හැක. "මහා හොර කල්ලිය" මහ දවාලේ හොරකම් කරයි. ඕනෑම බලු වැඩක් බල්ලන්ටත් වඩා හොඳට කරයි. උදාහරණ වශයෙන් මහා හොර පප්පා,  හිටන් හුටන් දැක්විය හැක. "කයියනායක සහෝදරහොරු" යනු මාර්ක් දෙවියාගේ ආගම පැතිරවීම සඳහා කැපවී සිටින පිරිසක්ය. ඔවුන් කිසිදා රැකියාවක් නොකර අනුන්ගෙන් පිනට කා අනිත් යටත් පිනට කන්නට උපදෙස් දෙයි. පිනට කෑම සඳහා වැඩ නොකරන වලි ඇතිකිරීම මගින් ධනය, කාලය පමණක් නොව අධ්‍යාපනයද කයි. මොවුන්ට උදාහරණ වශයෙන්ම අන්රයියා, ටිං ටිං අන්කල් වැනි අය දැක්විය හැක. මහ මොළකරුවන් හැමෝටම පොදු ලක්ෂණයක් වන්නේ ගම කෑමය. 


2 වන ස්තරය : කැම්පේන් මැනේජර්

මොවුන් මහ මොලකරුගේ කොන්ත්‍රාත් එකක් ගෙන කැම්පේන් කරයි. ඒ වෙනුවෙන් පගාව ලබා ගනී. ගමේ කැම්පේන් කිරීම සඳහා හැදු ප්‍රධාන සමිති  5ක් ඇත. 

  • TV/කීබෝඩ් විරු සමිතිය 
  • ගලවා ගැනීමේ සමිතිය 
  • පාතාල සමිතිය 
  • අන්තර් ජාතික විශ්ව විද්‍යාල ළමා සමිතිය 
  • වැඩ නොකරන සමිතිය 

"TV/කීබෝඩ් විරු සමිතිය" යනු මාධ්‍ය හා සමාජ මාධ්‍ය අවභාවිතා කර මොළ හේදීම සිදු කරන සමිතියයි. ඔවුන් ඉතිහාසය හැදීම/මැකීම, විරුවන් හැදීම, ද්‍රෝහීන් හැදීම, ජාත්‍යන්තර කුමන්ත්‍රණ හැදීම වැනිදේ සිදුකරයි. "ගලවා ගැනීමේ සමිතිය" යනු ගලවා ගැනීමේ මුවාවෙන් අලවා ගැනීමට පිහිටවූ සමිතියයි. ජාතිය, ආගම පමණක් නොව අවශ්‍යනම් කිරි ගවයන්, එළුවන් වුවද ගලවා ගනියි. මොවුන් අති විශාල විනාසයක් කල හැකි භයානකි සමිතියකි. "පාතාල සමිතිය" යනු අන්තරස්ධාන කිරීම සඳහා සැදූ සමිතියයි. ඔවුන් සුදු පාට වැන් පාවිච්චි කරයි. මහ දවල් අපායට යැවීමේ සිට, ගඟේ පා කිරීම, ආයුධ පෙන්නන්නට යාම, රථ වාහන ගිනි ගැනීම වැනි ක්‍රම අනුගමනය කරයි. "අන්තර් ජාතික විශ්ව විද්‍යාල ළමා සමිතිය" යනු අධ්‍යාපනය ගලවා ගැනීම සඳහා එය අනුභව කිරීමට පිහිටුවාගත් සමිතියයි. ඔවුන්ගේ අරමුණ අධාපනය දීමට විරුද්ධ වීම, ආචාර්ය පප්පන්ගේ කනට ගැසීම, පාර දිගේ කෑ කෝ ගෑම වැනි දේවල්ය. ඔවුන්ගේ වැඩ සිඟිති වුවද හරක් පප්පන්ගේ ගහනය අඛණ්ඩව වැඩි කිරීමට විශාල දායකත්වයක් සපයන සමිතියකි. "වැඩ නොකරන සමිතිය" යනු තමන්ට පමණක් නොව අනුන්ටද වැඩ කිරීම වැලැක්වීම සඳහා පිහිටුවාගත් සමිතියයි. මොවුන් කරන්නේ මුකුත්ම නොකර ඉඳහිට කෑ කෝ ගැසීම පමණි. හරිම සරල සමිතියකි. 


3 වන ස්තරය : බර උසුලන ශුරයා 

මොවුන් සිදු කරන්නේ සමිතිය මගින් හදා දෙන කැම්පේන් එක උස්සාගෙන යාම සහ බෙදා හැරීමය. කැම්පේන් එකේ බර උසුලන්නේ මොවුන්ය. මොවුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. 

  • වහල් පප්පා 
  • දායක සභාව 

"වහල් පප්පා" යනු ඉහත සඳහන් සමිති පහෙන් ඕනෑම එකකින් පඩි ලැබෙන පුද්ගලයන් වේ. පඩි ලැබීම නිසා ඔවුන් සමිතියේ නියෝග පිලිපදී. "දායක සභාව" යනු පඩි නොගෙන සේවය කරන පිරිසකි. ඔවුන් බොහෝවිට බාගෙට උගතුන්ය. මොවුන් ඕනෑම දෙයක් වෙනත් ඕනෑම දෙයක් වියහැකි බව තර්කයෙන් පැහැදිලි කරයි. ඒවා දකින බත් කන හරකුන් පස්වනක් ප්‍රීතියට පත්ව උම්බෑ කියයි. ලෝකයා සිනා වෙයි.  


4 වන ස්තරය : බත් කන හරකා  

පප්ප ගමේ 95%ක් පමණ සිටින්නේ බත් කන හරක් නොහොත් හරක් පප්පන්ය. හරක් පප්පෙක් හැදීමට භාවිතා කරන්නේ අධාපනය නොදීම හෝ යල් පැන ගිය අධාපනයක් දීමය. ඊට අමතරව දේශනා දීම, මොලෝ රහක් නැති ටෙලි මගුල්, සංගීත පෙන්වීම, කීබෝඩ් එකක් ලබා දීම වැනි දේද සිදු කල හැක. මොවුන්ගේ කාර්ය වන්නේ තමන්ට ලැබෙන කැම්පේන් එක ගෙඩිය පිටින් ගිලීමය. කැම්පේන් එක ගිලීමෙන් පසු රැලි ඇතිවේ. හරක් පප්පන් රැලි වලට ගසා ගෙන යයි. රැල්ලේ ගසාගෙන ගොස් චන්දය දී හුල්ලයි. මිට පස්සේ නන් ජීවිතේට රැවටෙන්නෙ නෑ කියයි. ආපහු කැම්පේන් එක ගිල රැල්ලේ ගසා ගෙන යයි. මේ සයිකල් එක අවුරුදු පහෙන් පහට රිපීට් වෙයි. 



No comments:

Post a Comment