Saturday, August 3, 2024

අන්රයියා හෙවත් කයියනායක දෙවියන්

 අන්රයියා යනු ජාතියේ වාසනාවට මෙම ශතවර්ෂයේ පහලවූ සැබෑම වීරයාය. අන්ත ගල් යුගයේ සිටි ජෙප්පන්,  මාළු මාමා වැනි ලිබරල් ව්‍යාපාරයක් වෙතට ඇදගෙන ආපු නියමුවා අන්රයියාය. අන්රයියා නැත්තන් නිර්පාක්ෂික සාමකාමී වලියෙන් පසු හරක් පප්පන් ඔක්කොම ජෙප්පන් හෝ කුරුට්ටන් බවට පත්වී මහා ඛේදවාචකයක් වීමට ඉඩ තිබුණි. නමුත් අන්යියාගේ ආශිර්වාදයෙන් කුරුට්ටන් සම්පුර්ණයෙන්ම මර්ධනය කර දැමීමට හාමුට පුළුවන් විය. ඒ විතරක් නෙවෙයි.  චන්දයක් එන බව පවසා හරක් පප්පන් මාළු මාමා වටා ගොනුකර තබා ගැනීම මගින්, නැවතත් නිර්පාක්ෂික සාමකාමී වලියක් ඇතිවීම වැලකින. 

අනේ ඉතින් කොච්චර සාර්ථකව අන්රයියා මෙම යුග මෙහෙවර ඉටු කලේද යත්, හාමු නන්නත්තාර වෙන්න ටැක්ස් ගහද්දීත්, පඩි වැඩි නොකර සිටිද්දීත්, ලයිට්, තෙල්, ගෑස් අහස උසට නගිද්දීත්, තෙල බෙදන සමිතියෙන් බාගයක් විකුණා දමද්දීත්, ලයිට් කපන සමිතිය අදානි සහෝදරයාට විකුණා දමද්දිත්, අනිත් කඩ ටික විකුනන්න ප්ලෑන් ගහද්දීත්, අමෘත්තය නැති කර දමද්දීත්, අන්තර්ජාල මර්ධන නීති ගෙන එද්දිත්, අලුගෝසුවෙක් පොලොස්පති කරද්දීත්, වසන්ත මුදලාලි දඩු කදේ ගහද්දීත් කිසිම වලියක් ඇති වීමට ඉඩ නොදී වැඩේ කලමනාකාරය කර හාමුට උදව් කලේ අන්රයියාය. ඒ විතරක් නොව, මොලේ කලඳක් නැති කුරුට්ටන් කපා කපා මාළු කපා අපිට එපා කියල පාරට ආවාම, උන්ට අම්බානට නෙලද්දී ඇතිවූ විරෝදය වෙන අතකට යොමුකර කලමාකරණය කලේ අන්රයියාය. 

අනේ ඉතින් ඒ විතරක් නෙවෙයි. වාමාංශික, සමාජවාදී, මාක්ස්වාදී වැනි ගල් යුගයේ චින්තනය වෙනුවට "දුෂණ විරෝධී" නමැති අලුත්ම සංකල්පයකට ගොනු කලේ අන්රයියාය. ඒ නිසා දුෂණයක් නැත්තන් වැඩ නොකරන සමිතිය උනත් විකුණා දැමිය හැකි ආකාරයකට හරක් පප්පන් කළමනාකරණය කරගත හැකි විය. අන්තර් විශ්ව ළමා සමිතිය කොටස් වලට කඩා දුර්වල කිරීමටත් අන්රයියාගෙන් ලැබුණු සහය අති විශිෂ්ටය. මෙච්චරකල් මහා හොර පප්පා ඇතුළු ජාතිකවාදී බයියන් වටේ සිටි වාමාංශික පප්පන්, එයින් මුදාගෙන ලිබරල් center-left ව්යාපාරකට යොමු කිරීමත්, හාමු විසින් සිදුකල ලිබරල් ප්‍රතිසංස්කරණ වලට ඇතිවූ විරෝධය සම්පුර්ණයෙන්ම කලමාකරණය කරදීමත් නිසා පප්ප ගමේ උපදින උපදින පප්පන් අන්රයියාට ණය ගැතිය. අන්රයියා ලබාදුන් උදව්ව වෙනුවෙන් හාමු විසින් සිදුකලේ මාළුමාමාට නිදහසේ කැම්පේන් කරන්නට ඉඩ දීමත්, මාළු පප්පන් දඩු කදේ නොගසා සිටීමත් පමනි. නමුත් අන්රයියා කිසිම දේකින් නොසැලී ගම වෙනුවෙන් තම යුතුකම ඉටු කළේය. 

ගල් යුගයේ ජෙප්පන් වන ලාල් අයියා, ටිං ටිං අන්කල්, සාස්තර ගුරුන්නාන්සේ වැනි ඩයල් ජාතිය ඉතිරියේ විහිළුවක් බවට පත්වුණේ අන්රයියාට පින් සිද්ධ වෙන්නය. ඒ වෙනුවට් ලිබරල් පප්පන් වන හරිනි අක්කා, නලින්ද අයියා සහ පොඩ්ඩක් ට්‍රැක් අවුට් උනත් චතුරංග මල්ලී වැනි ඩයල් සාර්ථක වීම මගින්, පරණ නාකි ජෙප්පන් නන්නස්තාර කර දැමීමට හැකිවිය.  අන්රයියා යනු, යුග පුරුෂයෙකි, අපේ කාලයේ වීරයෙකි, සැබෑම ජනතාවාදී විපක්ෂ නායකයෙකි, කෙලින්ම කිව්වොත් දෙවියෙකි. 



ජඩ මාධ්‍ය සමිතිය

පහත සටහනෙහි දක්වා ඇතී පරිදි පප්ප ගමේ පාලනය ස්ථර 4කට විහිදී ඇත. 1 සහ 2 ස්ථර රෙජීමය ලෙස හඳුන්වයි. මෙම රෙජීමය විසින් 3වන ස්ථරය වන වහල් පප්පන් සහ දායක සභාව (බර උසුලන ශුරයා) පාලනය කරයි. මෙහිදී දායක සභාව යනු මහා මොලකරුවන්ට ඍජුවම සම්බන්ධ කොටසකි. ඔවුන් ප්‍රමාණය ඉතා කුඩාය. පෝස්ටර් ඇලවීම, ගවගාල් රැස්වීම් සංවිධානය සහ සහභාගිත්වය, කොමෙන්න්ට් කෙටිම වැනි දේ සිදුකරන්නේ මොවුන්ය. වහල් පප්පන් යනු 2වන ස්තරය වන සමිති 5ට (කැම්පේන් මැනේජර්) සම්බන්ධ කොටසකි. ඔවුන් වැඩ කරන්නේ පඩියටය. සමිතියෙන් කතා කලොත් ඕනැම ගව ගාලක සෙනග විදියට පෙනී සිටි. වැඩ නොකරන වලි, ගලවා ගැනීමේ වලි, අධ්‍යාපනය අනුභව කිරීමේ වලි වැනි නොයෙක් ආකාරයේ වලි වලට සම්බන්ධ වන්නේත්  මොවුන්ය. 2වන ස්තරය වන කැම්පේන් මැනේජර්ගේ කැම්පේන් එක 3වන ස්තරය වන බර උසුලන ශුරයා විසින් උසුලාගෙන යාම මගින් රැලි ඇතිවේ. රැලි ඇති උනාම හරක් පප්පන් රැල්ලට ගසාගෙන ගොස් චන්දය දෙයි. එවිට අලුත් මහා මොලකරුවෙක් ලොකු පප්පා වෙයි. අද කතාව 2වන ස්ථරයේ සිටින ජඩ මාධ්‍ය සමිතිය ගැනය. 

අනේ ඉතින් ජඩ මාධ්‍ය සමිතිය පහත දැක්වෙන පරිදි ප්‍රධාන වශයෙන් කොටස් 4කින් සමන්විත වේ. 

1. රූප පෙට්ටි සමිතිය  

2. කන්ටෙන්ට් සමිතිය 

3. කී බෝඩ් විරු සමිතිය 

4. ජනප්‍රිය සමිතිය

රුප පෙට්ටි සමිතිය යනු ඉතාමත්ම දක්ෂ කැම්පේන් මැනේජර්ලා සිටින සමිතියකි. මොවුන් කැම්පේන් එක පටන් ගන්නේ චන්දෙට අවුරුදු 4කට විතර පෙරය. මුලිම එක එක ටොපික් දමා හිට් වෙන ඒවා තෝරා ගනී. පොසිටිව් කැම්පේන්, නෙගටිව් කැම්පේන්, ගැප් කැම්පේන් (අනවශ්‍ය ලෙස උඩටම උස්සා පොලවේ ගැසීම) වැනි නොයෙක් කැම්පේන් සිදු කරයි. කැම්පේන් එක පීක් වෙන්නේ ජන්දයට දවසකට කලින්ය.  අන්තිම දවසේ පෙන්නන එක ෆිල්ම් එකකින් ප්‍රථිපලය කණපිට ගැසිය හැක. 

කන්ටෙන්ට් සමිතිය යනු යූබට, ටික්ටික්, වට්අප් වැනි හොග් ගාල යන ඒවා භාවිතා කර කන්ටෙන්ට් හදන  සමිතියකි. මෙයාල බුද්ධිමට්ටමෙන් ඉහලය. මොවුන්ගේ අරමුණ රැල්ලට ගසාගෙන යන හරක් පප්පන් චූන් කර කීයක් හෝ හොයා ගැනීමය. එකෙ ඉතින් වැරැද්දකුත් නැනේ, විකිනෙන දේවල් තමයි විකුනන්න ඕන. අනේ ඉතින් මේකින් ඇතිවන චේන් රිඇක්ෂන් එකිනුත් රැල්ලට තල්ලුවක් ලැබේ. 

කී බෝඩ් විරුවන් යනු කන්ටෙන්ට් වලට කොමෙන්ට් කොටාගෙන රිඇක්ෂන් දාන සත්ව විශේෂයකි. මොවුන් බොහෝවිට කුලියට ගැනීම සිදුකරත්, කොමෙන්ට් ෆාම් අවුට්සෝස් කිරිම වඩාත් ලාභදායකය. මොවුන් ටාගට් කරන්නේ අමුම අමු හරක් පප්පන්ය. බොහෝවිට අලුතෙන්ම චන්ද දෙන IQ හොඳටම අඩු පප්පන් ටාගට් එක වේ.

ජනප්‍රිය සමිතිය යනු කලාබර පප්පන්, ක්‍රීඩා පප්පන්, ටියුෂන් පප්පන්, දේශණා පප්පන්, දොස්තර පප්පන්, නීති පප්පන් වැනි ජනප්‍රිය පප්පන් ගෙන් සැදුම්ලත් සමිතියකි. මොවුන් පිටකොන්දක් නොමැති (invertebrates) පරපෝෂිත (predator) සත්ව විශේෂයකි. තනිවම කෙලින් සිටගෙන ජිවත් විය නොහැකි නිසා මොකක හරි එල්ලීම මොවුන්ගේ ස්වභාවයයි. ජනප්‍රිය නිසා ස්ටේජ් එකේ මොවුන්ව නග්ගවා ආතල් දෙයි. මොවුන් IQ අගය ඉතාම අඩු තමන්ගේ ක්ෂේත්‍රයෙන් එපිට මෙලෝ අල බෝලයක් නොදන්නා අමුම අමු ගොන් හරක් විශේෂයකි. එහෙම උනත් හැම දේම දන්නවා වගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථිකය, සංස්කෘතිය, සාපේක්ෂතාවාදය, පරිනාමවාදය, නැනෝ තාක්ෂනය, කෘතීම බුද්ධිය, කාබනික වගාව වැනි ඕනෑම මගුලක් ගැන කැත නැතුව පොර ටෝක් දීම සිදු කරයි. එතකොට එයාලගේ ෆොලෝවර්සලා හෝල් සේල් එකේ රැල්ලට ගසා ගෙන යයි. 

චන්දය යනු පප්පන්ගේ තේරීමක් නොව කැම්පේන් මැනේජර් අවරුදු 4කට කලින් සකස් කල කැම්පේන් එකේ ප්‍රතිඵලයකි. මේ වගේ සිරාම කැම්පේන් එකක් කිරීමට සැහෙන කහවනු අවශ්‍යය. ඒවා ගෙවන්නෙත් ටැක්ස් වලින් සහ ටැක්ස් නොගෙවන හොර පප්පන්ගේ කහවනු වලින්ය. අනේ ඉතින් පප්පන් රැලි වලට අහුවී ගසා ගෙන යනතාක් කැම්පේන් කිරීම සහ කෙලවිම නැවැත්විය නොහැක. 






 

Thursday, August 1, 2024

වැඩ නොකරන සමිතිය

අනේ ඉතින් කලිනුත් කිව්ව වගේම පප්ප ගම පාලනය වන්නේ රෙජිමයට (සිස්ටම් එකට) අනුවය. රෙජීමයේ ව්‍යුහය සටහන 1 හි පැහැදිලි කර ඇත. රෙජීමය සමන්විත වන්නේ ප්‍රධාන සමිති 5කින් සහ මහා මොළකරුවන් 3න් දෙනෙකු ගෙන්ය. මහා මොළ කරුවන් වන්නේ "මහා හොර කල්ලිය", "හාමු මහත් හොරු" සහ "කයියනායක සහෝදර හොරු" න්ය. සමිති 5 සහ මහා මොළ කරුවන් එකිනෙකාට උදවු කර ගනිමින් සතුටින් ජිවත් වේ. ඒ උනාට එයාල තරහ බව පෙන්නවන්න කැම්පේන් කරයි. කැම්පේන් එක උස්සන් යන්නේ වහල් පප්පන්ය. වහල් පප්පන් හිතන්නේ එයාල කඩේ යන මහා මොලකරු පප්පගම රෝමයක් කරන බවය. අනේ ඉතින් එහෙම උනේ නැති උනාම, අපිව රැවට්ටුව, අපි තොත්ත බබාලා නිසා හොඳටම රැවටුනා කියල ඊළඟ කැම්පේන් එක උස්සන් කඩේ යයි. 

වැඩ නොකරන සමිතිය යනු ගම් සභාවේ කඩ සහ ඒවායේ වැඩ කරන පප්පන්ගේ එකතුවයි. මෙහි ප්‍රධාන අරමුණ වැඩ නොකරන පඩි අරන් රෙජීමය නඩත්තු කිරීමය. වැඩ නොකරන සමිතියට සාමාජිකයන් බඳවා ගන්නේ මහා මොළකරුවන්ය. සාමාජිකයන් වන්නේ පප්ප ගමේම හරක් පප්පන්ය. වැඩ නොකරන සමිතියේ රැකියාවක් ලබාදීම මගින් හරක් පප්පෙක් වහල් පප්පෙක් බවට පරිවර්තනය කල හැක. වහල් පප්පන් යනු මහා මොලකරුගේ කැම්පේන් එකේ බර උසුලන ශුරයෙකි. මේ සඳහා සමිතිය මගින් වහල් පප්පන්ට පඩි සහ දීමනා දෙයි. වැඩ ලබා නොදෙයි. දීමට වැඩද නොමැති අතර, වැරදිලාවත් වැඩක් තිබ්බත් වැඩනොකරන විරුවන් ඒවා කරන්නේවත් කරන්න දන්නේවත් නැත. මහා මොලකරු විසින් රැකියා සහ වරප්‍රසාද ලබා නුදුනහොත් වැඩ නොකරන වලි සිදුකිරීම, කැම්පේන් නොකිරීම, වෙනත් මහා මොලකරුවෙකුට කඩේ යාම වැනි දේ සිදුකරයි. ඒ නිසා බලය ලබා ගැනීමට නම් දිගටම රස්සාවල්, පඩි වැඩිවීම් වැනිදේ කල යුතුය. ඒ වෙනුවෙන් වැඩ නොකරන සමිතිය දිගටම කඩේ යයි. 

වැඩ නොකරන සමිතිය කුඩා සමිති අසූහාරදාහකට බෙදා දැක්විය හැක. එම කුඩා සමිති වලින් කොටසක් පහත දැක්වේ. 

          1. බෙහෙත් වතුර සමිතිය

          2. නැව් ගිලින සමිතිය 

          3. තෙල බෙදන සමිතිය 

          4. කිරි බොන සමිතිය 

          5. අකුරු කන සමිතිය 

          6. ලයිට් කපන සමිතිය 

          7. වතුර කපන සමිතිය 

          8. ගෑස් බලන සමිතිය 

          9. උඩ යන සමිතිය 

        10. මාළු බාන සමිතිය 

        11. විශ්ව ළමා ආචාර්ය සමිතිය 

        12. ගිනි පොලී සමිතිය 

        ....

84,000. දෙබරවැව ගොවි සමිතිය 

අනේ ඉතින් කුඩා කිව්වට මෙව්වා කුඩාම නැත. උදාහරණයක් විදියට ගත්තොත් "උඩ යන සමිතිය" විතරක් පප්ප ගමේ බජට් එකින් කාලක් විතර කා දමයි. අනේ ඉතින් ඉස්සරනන් වැඩනොකරන සමිතියේ ලොකු කෑල්ලක් අයිති වෙලා තිබුනේ පුතානෝගේ පියානෝය. ඊට පස්සෙ අයිතිය මහා හොර පප්පාට මාරුවිය. දැන් වැඩ නොකරන  සමිතියේ වැඩි කොටසක් පාලනය කරන්නේ කයියනායක දෙවියන්ය. දෙවියන්ගේ නියෝජිතයා ලෙස ලාල් අයියාත්, ලාල් අයියා නිදාගත්තාම වසන්ත මල්ලිත් වැඩ බලයි.  ලාල් අයියා විසින් පාලනය කරන වැඩ නොකරන සමිතිය සටහන 2 මගින් පැහැදිලි කර ඇත. 

වැඩ නොකරන සමිතියට පඩි ගෙවන්නේ පප්ප ගමේ ටැක්ස් වලින්ය. අනේ ඉතින් එයාල වැඩ කරන්නේ නැති නිසා මේ ටැක්ස් ටික වතුරේය. පප්ප ගමේ ඉතිරි ටැක්ස් වලින් බර ගානක් කෙලින්ම  මහා මොළ කරුවන් හොරා කයි. එයාල කැම්පේන් එක කරන්නේ ඒ ටැක්ස් වලින්ය. පප්පන්ට වැසිකිලි වලවල් බෙදන්නෙත්, සිල් රෙදි බෙදන්නෙත්, බස් බෙදන්නෙත්, හාල් බෙදන්නෙත්, හැම තැනම ගව ගාල් හදා රැස්වීම් තබා පුන්නක්කු පොවන්නෙත්, රෝමෙට ප්ලේන් එකෙන් යන්නෙත් මේ ටැක්ස් වලින්මය. අනේ ඉතින් පප්පන් හිතාගෙන ඉන්නේ හොරකන් කරන්නේ ගම් සභාව කරන පප්පන් විතරයි කියලාය. එහෙම නැත. ටැක්ස් ගෙවන්නෙ නැති හොර පප්පන් කැම්පේන් එකට ආධාර කරයි. ඒවා විටෙක බස් විදියටද, විටෙක කම්ප්යුටර් විදියටද, විටෙක පුන්නක්කු විදියටද, විටෙක ප්ලේන් ටිකට් විදියටද ලැබෙයි. ඒ කියන්නේ පප්පන්ට ලැබිය යුතු ටැක්ස් වලින් වැඩි හරියක් කැම්පේන් එකටත්, රෙජිමයටත් යයි. 

අනේ ඉතින් "මහා හොර කල්ලිය" වේද, "හාමු මහත් හොරු" වේද, "කයියනායක සහෝදර හොරු"  වේද, මොන මහා මොලකරු දිනුවත් වැඩ නොකරන සමිතිය විකුනන්නේ නැත. හාමු බොරුවට වැඩ නොකරන සමිතිය විකුනනවා කිව්වත් එහෙම කෙරේ නැත. මහා හොර පප්පා සහ මෝඩ පුතානෝ තව තවත් රස්සාවල් දී "වැඩ නොකරන විරුවන්" තවතවත් බිහි කරන බව කියයි. කයියනායක දෙවියන් කියන්නේ වැඩ නොකරන සමිතිය කාර්යක්ෂම කරන බවය. අනේ ඉතින් ඒක වැඩ නොකරන සමිතියේ ප්‍රතිපත්ති වලට විරුද්ධය. වැඩ නොකරන සමිතිය තියෙන්නේ වැඩ නොකිරීමට මිස වැඩ කිරීමට නෙවෙයි. ඉතින් එයාල වැඩ කරන්නේ නැත.  අනිත් එක එතන කරන්න වැඩකුත් නැත. වැරදිලාවත් කරන්න වැඩක් තිබ්බත් වැඩ නොකරන විරුවන් ඒක කරන්න දන්නෙත්  නැත. අලි මදිවට කිරි හරක් කියල මේ දවස් වල ලාල් අයියා විසින් ස්මාර්ට් විදියට වැඩ නොකරන වලි කරන හැටි කියලා දෙයි. අනේ ඉතින් වැඩ නොකරන වලි කියන්නේ කැම්පේන් එකේ කොටසකි. එයාලට ඔය විකාර කරන්න වෙලාවක් නෑනේ. කොහොමත් වැඩ කරන්නෙ නෑ. වලිය දවසේ වැඩ කරන්නෙත් නෑ. ඉතින් ලාල් අයිය කියන විදියට කරන්න ගියොත් වලිය දවසෙ වැඩ කරන්න වෙනවා. ඔහොම ගියොත් වැඩ නොකරන සමිතියේ බලය ආපහු මහා හොර පප්පගෙ පුතා මල් කුමාරයට හරි මෝඩ පුතානෝට හරි යාවි. 





Sunday, July 28, 2024

ගම බේරා ගැනීමේ අන්තිම අවස්ථාව

 අනේ ඉතින් පප්ප ගමට අවුරුදු 5කට සැරයක් එන "ගම බේරා ගැනීමේ අන්තිම අවස්ථාව" උදා වි ඇත. මේක උදා උනාම පප්පන් හෙන සීරියස් වි රෙදි නැතුව කඩේ යන්න පටන් ගනී. පප්පන්ට ආර්ථික විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාවේ සිට භූත විද්‍යාව දක්වා සියලුම ඥානයන් එකවිට පහල වේ. ඔවුන් බදු, උද්ධමනය, පෝලිම්, සල්ෆ්යුරික්, ග්‍රෆින්, ඉන්ටනෙට්, ජාතිය, ආගම වැනි ඕනෑම මගුලක් බොග් ගාල අවබෝධ කරගනී. පප්පන් බුකියේ පෝස්ට් දමාගෙන දමාගෙන, කොමෙන්ටු කොටාගෙන කොටාගෙන, හහා කියාගෙන මාර ආතල් එකක් ගනී. ඒක බලාගෙන හිටියාම ඊටත් වඩා ආතල් එකක් ගන්න පුලුවන්ය. 

අනේ ඉතින් ඔය අස්සෙ හාමු ඉස්සෙල්ලාම ගිහින් ඇප තැන්පත් කළේය. හාමුල වගේ සල්ලි තියන අය එහෙම තමයිය. ඔය අස්සේ මහා හොර පප්පාගේ කල්ලිය හෙවත් පුට්ටුව කැලි හතරකට කැඩී ඇත. ලොකුම හොරු සෙට් එක හාමුට හේත්තු විය. ගලවාගැනීමේ සමිතියේ ලොක්කන් කලින්ම නයිහාමිට හේත්තු විය. ආතක් පාතක් නැති අපත පඬියන් සෙට් එක මෝඩ පුතානෝට හේත්තු වී උපදෙස් ලබා දෙයි. මහා හොර පප්පාගේ හොර පවුල තනිවී ඊළඟ "ගම බේරා ගැනීමේ අන්තිම අවස්ථාව" ආවාම මල් කුමාරයා ලොකු පප්පා කිරීමේ ප්ලෑන හදයි. 

අනේ ඉතින් පුට්ටුවේ සිටි බයියන් නන්නත්තාර වී ඇත. නන්නත්තාර උනා කිව්වට නන්නත්තාරම උනේ නැ. එයාල වැඩිහරියක්  කලින්ම කයියනායක දෙවියන්ට සෙට් උනා. ඉතිරි බයියන් ටික හාමුට සහ නයිහාමිට සෙට් උනා. ඉතින් ඔන්න ඔයවගේ සාමකාමිව ගම බේරා ගැනීමේ අවස්තාව සෙලිබ්‍රෙට් කරයි කියල අපි හිතාගෙන හිටියට එහෙම වෙන්න තියන ඉඩ අඩුය. 

හාමු අන්තිම මොහොතේ ෆුල් මොංගල් පිස්සුවක් කෙළීමට සෙට් වී සිටී. ගොඩක් වෙලාවට හාමුට දිනන්න බැරි බව තේරුනොත් මහා පිස්සන් කොටුව ගෙදර යවා, පිස්සන් කොටු චන්දයත්, ලොකු පප්පගේ චන්දයත් ඔක්කොම එකට අනා දැමිය හැක. ඒ අස්සට "ගොන් මත විකාරයකුත්" ඔබයි. ඊට පස්සේ වැඩ නොකරන සමිතිය සහ ගලවා ගැනීමේ සමිතිය බස්සා ඇනකොටා ගැනීමේ වලියකුත් හදල සල්ලිත් නැ කියල පිස්සුවක් කෙලිවි. ඊට පස්සේ "චන්ද නොතියන කමිටුව"ට ආතතිය වැඩි වෙලා ඉල්ලා අස් වේවි. දැන් පිස්සන් කොටුව නැතුව කමිටුව දාන්නත් බැ, කමිටුව නැතුව චන්ද තියන්නත් බැ, චන්ද දෙකක් තියන්න සල්ලිත් නෑ. අලි මදිවට හරක් කියල තව "ගොන් මත විකාරයකුත්" තියන්නලු. ඒ අස්සෙ හැම තැනම ඇනකොටා ගැනීමේ වලි. අනේ ඉතින් මෙන්න මෙහෙම උනාම ආගමික නායක ලොක්කන් මේකට මොකක් හරි කරන්න කියල හාමුට කියයි. 

හාමු ඒ ගැන සලකා බලල සල්ලි තියෙන්නෙ එක චන්දෙකට විතරයි. චන්ද තුනක් තියන්න බැනේ. ඔයාලට ඕනම නං මම "ගොන් මත විකාරයක්" තියන්නන් කියල කියයි. අනේ ඉතින් ඔය ගොන්මත විකාරය අනුව චන්දය තියනකන් හාමු තව අවුරුද්දක් කාලය දික් කර ගනී. එතකොට පප්පන්ට තව අවුරුද්දක් බුකියේ ආතල් ගත හැක. කොහොමත් පප්පන් කරන්නේ හොරකන් කිරීමත්, ආතල් ගැනීමත් විතරය. පරණ පුරුදු දේවල් නිසා කිසිම අවුලක් නැත.