අනේ ඉතින් කලිනුත් කිව්ව වගේම පප්ප ගම පාලනය වන්නේ රෙජිමයට (සිස්ටම් එකට) අනුවය. රෙජීමයේ ව්‍යුහය සටහන 1 හි පැහැදිලි කර ඇත. රෙජීමය සමන්විත වන්නේ ප්‍රධාන සමිති 5කින් සහ මහා මොළකරුවන් 3න් දෙනෙකු ගෙන්ය. මහා මොළ කරුවන් වන්නේ "මහා හොර කල්ලිය", "හාමු මහත් හොරු" සහ "කයියනායක සහෝදර හොරු" න්ය. සමිති 5 සහ මහා මොළ කරුවන් එකිනෙකාට උදවු කර ගනිමින් සතුටින් ජිවත් වේ. ඒ උනාට එයාල තරහ බව පෙන්නවන්න කැම්පේන් කරයි. කැම්පේන් එක උස්සන් යන්නේ වහල් පප්පන්ය. වහල් පප්පන් හිතන්නේ එයාල කඩේ යන මහා මොලකරු පප්පගම රෝමයක් කරන බවය. අනේ ඉතින් එහෙම උනේ නැති උනාම, අපිව රැවට්ටුව, අපි තොත්ත බබාලා නිසා හොඳටම රැවටුනා කියල ඊළඟ කැම්පේන් එක උස්සන් කඩේ යයි.
වැඩ නොකරන සමිතිය යනු ගම් සභාවේ කඩ සහ ඒවායේ වැඩ කරන පප්පන්ගේ එකතුවයි. මෙහි ප්‍රධාන අරමුණ වැඩ නොකරන පඩි අරන් රෙජීමය නඩත්තු කිරීමය. වැඩ නොකරන සමිතියට සාමාජිකයන් බඳවා ගන්නේ මහා මොළකරුවන්ය. සාමාජිකයන් වන්නේ පප්ප ගමේම හරක් පප්පන්ය. වැඩ නොකරන සමිතියේ රැකියාවක් ලබාදීම මගින් හරක් පප්පෙක් වහල් පප්පෙක් බවට පරිවර්තනය කල හැක. වහල් පප්පන් යනු මහා මොලකරුගේ කැම්පේන් එකේ බර උසුලන ශුරයෙකි. මේ සඳහා සමිතිය මගින් වහල් පප්පන්ට පඩි සහ දීමනා දෙයි. වැඩ ලබා නොදෙයි. දීමට වැඩද නොමැති අතර, වැරදිලාවත් වැඩක් තිබ්බත් වැඩනොකරන විරුවන් ඒවා කරන්නේවත් කරන්න දන්නේවත් නැත. මහා මොලකරු විසින් රැකියා සහ වරප්‍රසාද ලබා නුදුනහොත් වැඩ නොකරන වලි සිදුකිරීම, කැම්පේන් නොකිරීම, වෙනත් මහා මොලකරුවෙකුට කඩේ යාම වැනි දේ සිදුකරයි. ඒ නිසා බලය ලබා ගැනීමට නම් දිගටම රස්සාවල්, පඩි වැඩිවීම් වැනිදේ කල යුතුය. ඒ වෙනුවෙන් වැඩ නොකරන සමිතිය දිගටම කඩේ යයි.
වැඩ නොකරන සමිතිය කුඩා සමිති අසූහාරදාහකට බෙදා දැක්විය හැක. එම කුඩා සමිති වලින් කොටසක් පහත දැක්වේ.
1. බෙහෙත් වතුර සමිතිය
2. නැව් ගිලින සමිතිය
3. තෙල බෙදන සමිතිය
4. කිරි බොන සමිතිය
5. අකුරු කන සමිතිය
6. ලයිට් කපන සමිතිය
7. වතුර කපන සමිතිය
8. ගෑස් බලන සමිතිය
9. උඩ යන සමිතිය
10. මාළු බාන සමිතිය
11. විශ්ව ළමා ආචාර්ය සමිතිය
12. ගිනි පොලී සමිතිය
....
84,000. දෙබරවැව ගොවි සමිතිය
අනේ ඉතින් කුඩා කිව්වට මෙව්වා කුඩාම නැත. උදාහරණයක් විදියට ගත්තොත් "උඩ යන සමිතිය" විතරක් පප්ප ගමේ බජට් එකින් කාලක් විතර කා දමයි. අනේ ඉතින් ඉස්සරනන් වැඩනොකරන සමිතියේ ලොකු කෑල්ලක් අයිති වෙලා තිබුනේ පුතානෝගේ පියානෝය. ඊට පස්සෙ අයිතිය මහා හොර පප්පාට මාරුවිය. දැන් වැඩ නොකරන සමිතියේ වැඩි කොටසක් පාලනය කරන්නේ කයියනායක දෙවියන්ය. දෙවියන්ගේ නියෝජිතයා ලෙස ලාල් අයියාත්, ලාල් අයියා නිදාගත්තාම වසන්ත මල්ලිත් වැඩ බලයි. ලාල් අයියා විසින් පාලනය කරන වැඩ නොකරන සමිතිය සටහන 2 මගින් පැහැදිලි කර ඇත.
වැඩ නොකරන සමිතියට පඩි ගෙවන්නේ පප්ප ගමේ ටැක්ස් වලින්ය. අනේ ඉතින් එයාල වැඩ කරන්නේ නැති නිසා මේ ටැක්ස් ටික වතුරේය. පප්ප ගමේ ඉතිරි ටැක්ස් වලින් බර ගානක් කෙලින්ම මහා මොළ කරුවන් හොරා කයි. එයාල කැම්පේන් එක කරන්නේ ඒ ටැක්ස් වලින්ය. පප්පන්ට වැසිකිලි වලවල් බෙදන්නෙත්, සිල් රෙදි බෙදන්නෙත්, බස් බෙදන්නෙත්, හාල් බෙදන්නෙත්, හැම තැනම ගව ගාල් හදා රැස්වීම් තබා පුන්නක්කු පොවන්නෙත්, රෝමෙට ප්ලේන් එකෙන් යන්නෙත් මේ ටැක්ස් වලින්මය. අනේ ඉතින් පප්පන් හිතාගෙන ඉන්නේ හොරකන් කරන්නේ ගම් සභාව කරන පප්පන් විතරයි කියලාය. එහෙම නැත. ටැක්ස් ගෙවන්නෙ නැති හොර පප්පන් කැම්පේන් එකට ආධාර කරයි. ඒවා විටෙක බස් විදියටද, විටෙක කම්ප්යුටර් විදියටද, විටෙක පුන්නක්කු විදියටද, විටෙක ප්ලේන් ටිකට් විදියටද ලැබෙයි. ඒ කියන්නේ පප්පන්ට ලැබිය යුතු ටැක්ස් වලින් වැඩි හරියක් කැම්පේන් එකටත්, රෙජිමයටත් යයි.
අනේ ඉතින් "මහා හොර කල්ලිය" වේද, "හාමු මහත් හොරු" වේද, "කයියනායක සහෝදර හොරු" වේද, මොන මහා මොලකරු දිනුවත් වැඩ නොකරන සමිතිය විකුනන්නේ නැත. හාමු බොරුවට වැඩ නොකරන සමිතිය විකුනනවා කිව්වත් එහෙම කෙරේ නැත. මහා හොර පප්පා සහ මෝඩ පුතානෝ තව තවත් රස්සාවල් දී "වැඩ නොකරන විරුවන්" තවතවත් බිහි කරන බව කියයි. කයියනායක දෙවියන් කියන්නේ වැඩ නොකරන සමිතිය කාර්යක්ෂම කරන බවය. අනේ ඉතින් ඒක වැඩ නොකරන සමිතියේ ප්‍රතිපත්ති වලට විරුද්ධය. වැඩ නොකරන සමිතිය තියෙන්නේ වැඩ නොකිරීමට මිස වැඩ කිරීමට නෙවෙයි. ඉතින් එයාල වැඩ කරන්නේ නැත. අනිත් එක එතන කරන්න වැඩකුත් නැත. වැරදිලාවත් කරන්න වැඩක් තිබ්බත් වැඩ නොකරන විරුවන් ඒක කරන්න දන්නෙත් නැත. අලි මදිවට කිරි හරක් කියල මේ දවස් වල ලාල් අයියා විසින් ස්මාර්ට් විදියට වැඩ නොකරන වලි කරන හැටි කියලා දෙයි. අනේ ඉතින් වැඩ නොකරන වලි කියන්නේ කැම්පේන් එකේ කොටසකි. එයාලට ඔය විකාර කරන්න වෙලාවක් නෑනේ. කොහොමත් වැඩ කරන්නෙ නෑ. වලිය දවසේ වැඩ කරන්නෙත් නෑ. ඉතින් ලාල් අයිය කියන විදියට කරන්න ගියොත් වලිය දවසෙ වැඩ කරන්න වෙනවා. ඔහොම ගියොත් වැඩ නොකරන සමිතියේ බලය ආපහු මහා හොර පප්පගෙ පුතා මල් කුමාරයට හරි මෝඩ පුතානෝට හරි යාවි.
No comments:
Post a Comment