අනේ ඉතින් පප්ප ගමේ බයියන්ගේ ප්‍රධාන ලක්ෂණ 3ක් ඇත. පලවෙනි ලක්ෂණය බයියන් බයිනරිය. ඔවුන් ලෝකය හොඳ සහ නරක ලෙස කොටස් දෙකකට බෙදයි. හොඳ අය මොනවා කරත් හොඳය. නරක අය මොනවා කරත් නරකය. දෙවෙනි ලක්ෂණය බයියන් සංයුක්තය. ඔවුන්ට සංකල්ප, ප්‍රවාද, තියරි, මොඩ්ල් වැනි දේ නොතේරේ. ඔවුන්ට තේරෙන්නේ ඉන්ද්‍රිය ගෝචර දේවල් විතරය. තුන්වෙනි ලක්ෂණය බයියන් ස්ථිතිකය. ඔවුන්ට එක් විචල්‍යකට සාපේක්ෂව වෙනත් විචල්‍යක වෙනස් වීම තේරුම් ගත නොහැක. ඒ නිසා උද්ධමනය වැනිදේ නොතේරේ.
අනේ ඉතින් මේ බයියන් පක්ෂයක වහල් පප්පන් බවට පරිවර්තනය කරගැනීම ඉතාම පහසුය. ඒකට කරන්න තියෙන්නේ බයියන්ගේ ප්‍රධාන ලක්ෂණ තුනට මත කැම්පේන් එක සැදිමය. මුලින්ම බයිනරි ලක්ෂණයට ෆෝකස් කර පප්පන් කොටස් දෙකකට බෙදයි. ඉස්සර කාලෙ පිඩක සහ පිඩිත පන්තිය ලෙස දෙකට බෙදුවේය. ඊට පස්සෙ ජාතිද්‍රෝහී සහ ජාතිමාමා ලෙස බෙදුවේය. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක දුෂිතයන් සහ දුෂණ විරොධීන්ය. දෙවෙනි ක්‍රමය සංයුක්ත බවට ෆෝකස් කිරීමය. සල්ෆ්යුරික්, ග්‍රැෆින්, බස්, සුහුරු පංති කාමර, ගෑස් සිලින්ඩර් වැනි ඉන්ද්‍රිය ගෝචර දේවල් පප්පන්ට පැහැදිලි කරයි. ප්‍රතිපත්ති, පොලිසි වැනි දේ කියා නොදෙයි. දේශපාලනයද බයියන්ට නොත්රෙන නිසා, එම සංකල්ප භෞතික වස්තුන්ට ඌනනය කර පහදා දෙයි. උදාහරණක් වශයෙන් ඔවුන් ධනවාදය හාමුටද, සමාජවාදය අන්රයියාටද, ජාතිකවාදය මහා හොර පප්පාටද, මෝඩකම පුතානෝටද ඌනනය කරයි. ඊට පසු එම භෞතික පුද්ගලයන් සිදු කරන ක්‍රියා මගින් වියුක්ත සංකල්ප පැහැදිලි කරයි. විකිණීම ධනවාදය ලෙසත්, පාර දිගේ කෑ කෝ ගැසීම සමාජවාදය ලෙසත්, හොරකන් කිරීම ජාතිකවාදය ලෙසත්, බස් එළවීම මෝඩකම ලෙසත් තේරුම් ගනියි. තුන්වන ක්‍රමය ස්ථිතික බවට ෆෝකස් කිරීමය. බයියන්ට මධ්‍යන්‍යය වැනි දේවල් කෙසේවත් නොතේරේ. අල ගෙඩියක මධ්‍යන්‍යය මිල කහවනු 30යි කීවිට බයියන් කෝපයට පත්වේ. කොළඹ අලයක් කහවනු 50යි, ගාල්ලෙ කහවනු 15යි, නුවර 25යි, ඉතින් කොහෙවත් කහවනු 30ට අල නැතැයි කියයි. උද්ධමනය අඩු උනා යයි කිව්වොත්, එහෙම වෙන්නෙ කොහොමද, කැරට් මිල වැඩි උනා යයි කියයි. ඒක පුද්ගල ආදායම වැඩි උනා යයි කිව්වොත්, එහෙම වෙන්නෙ කොහොමද, මගේ පඩිය වැඩි උනෙ නෑ යයි කියයි. ආර්ථික අර්බුධය සඳහා විසඳුම්ද ඉතා සරලය. උද්ධමනය වැඩි වීමෙන් බදු මිල වැඩි වෙන නිසා හැමෝටම බඩු ගන්න පුළුවන් වෙන්න පඩි වැඩි කර පොලිය අඩුකළ යුතු යැයි සිතයි. විදේශ සංචිත අඩු වන්නේ ආනයන නිසා හෙයින් ආනයන තහනම් කල යුතු බවද සිතයි. විදේශ ආයෝජන පැමිණීම ඉතාම අහිතකර බවත්, ඒවා මගින් ලාභය පිටරටට රැගෙන යන බවත් සිතයි. ඒ විතරක්ම නෙවෙයි, ඒවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවද සිතයි.
අනේ ඉතින් අවුරුදු 5කට සැරයක් එන ගම බේරා ගැනීමේ අවසන් අවස්ථාව උදා උනාම චන්ද මැෂිම විසින් සාදා දෙන කැම්පේන් එක බයියන් ගිලදමයි. ගිලීමෙන් පසු හදවත් උණුවී, රෙදි ගැලවී පක්ෂයේ වහලුන් බවට පත්වේ. එවිට පක්ෂය හැර අනිත් හැමදෙයක්ම හොරුන්, දුෂිතයන්, හැලි, විකාර, වැල් බයිලා යයි සිතෙන්නට පටන් ගනී. එතකොට පක්ෂයට බලය නොලැබුනොත් ගම විනාස වෙන බවත්, ළමයින්ට අනාගතයක් නැතිවෙන බවත්, හීන මැරෙන බවත්, රෝමන් කුමන්ත්‍රණ වලට අහුවෙන බවත් සිතෙන්නට පටන් ගනී. ඒ නිසා පක්ෂය දිනවීමට කඩේ යයි. කඩේ යෑම කොතරම්ද යත්, ගවගාල් වල පුන්නක්කු බීම, පෝස්ටර් ගැසීම, බුකියේ හහා දැමීම, මඩ ගැසීමේ සිට දඬු මොනරයේ නැගී රෝමයේ සිට පප්ප ගමට පියාසර කිරීම දක්වා සිදුකරයි. පක්ෂයේ ලොක්කා දියසෙන් ලෙසද පෙනෙන්නට පටන් ගනී. ලොක්කාට වැඳ ෆොටෝස් දමා සෙල්ෆි ගසා හෙන මගුලක් නටයි. පක්ෂය දිනූ පසු තාප්ප පුරා චිත්‍ර ඇඳ, පාර පුරා කිරිබත් කා හෙන පිස්සුවක් කෙළී. ඔහොම අවුරුද්දක් විතර ගියාම හොඳම එකකින් කෙළවාගෙන ආපහු පාරට බැස කෑ කෝ ගසයි. ඊට පස්සෙ මේවගේම තවත් පක්ෂයක කැම්පේන් එක ගිලදමා රෙදි නැතිව කඩේ යයි.
පප්පගමේ සිස්ටම් එක සැදී ඇත්තේ චන්ද මැෂින් පාවිච්චිකරල කරන පක්ෂ දේශපාලනය සහ කැම්පේන් එක ගිල කඩේ යන වහල් පප්පන්ගෙන්ය. වහල් පප්පන්ගේ සීයල තාත්තල අවුරුදු 76ක් කරේ ඔය සිස්ටම් එක පවත්වාගෙන යාමය. පප්පන් සියලාට බැන බැන කරනෙත් ඒ වැඩේමය. අවුරුදු 76ක් තිස්සේ ගවගාල් හදා පුන්නක්කු බොයි. තාමත් කරන්නේ ඒ වැඩේය. ඉස්සරත් දායක සභාව විසින් ගම පුරා කටවුට් ගසා පෝස්ටර් ගසා කැන්වසින් ගොස් පුන්නක්කු පොවයි. දැන් ටිකක් ස්මාට් වී ඇති නිසා පෝස්ටර් වෙනුවට මෙලෝ තේරුමක් නැති පෝස්ටර් වගේ පෝස්ට් බුකිය පුරා දමයි. මඩ ගැසීමත් සුපුරුදු පරිදිය. පක්ෂ ටිකත් අනිත් අයට බැන බැන ඒකම කරයි. බයියො ටිකත් අනිත් අයට බැන බැන ඒ විදියටම කඩේ යයි. කඩේ ගිහින් සිස්ටම් චේන්ජ් කරා කියා දවල් හීන දකියි.
No comments:
Post a Comment