Monday, March 20, 2023

සිස්ටමැටිකලි ගම කන හැටි ඉතාම සරලව පියවර 5 කින් - හතරවන පියවර : ආදායම් වියදම් පරතරය පියවීමට සල්ලි අච්චු ගැසීම

අනේ ඉතින් මෙහෙම කාලයක් යනකොට ගම් සභාව අම්බානකට ලොකු උනා. ඉතින් පඩි ගෙවන්නයි ජරාව කන්නයි ගියාම වියදම වැඩි උනා. වැඩ නොකරන පප්පලට කොහොමත් පඩි ලැබෙන නිසා වැඩ කරේ නෑ. ඉතින් නිෂ්පාදනය අඩු වෙලා බඩු ගණන් ගියා. අපනයනය අඩු වෙලා ඩොලර් එක වැඩි උනා. ඉතින් රෝමෙන් බඩු ගන්නත් කහවනු බර ගානක් ඕන උනා. ලොකු පප්ප දිගටම ණය ගත්ත. අන්තිමට ණය ගෙවන්නත් ණය අරගෙන පොලිය ගෙවන්නත් ණය ගත්ත. ඉතින් අන්තිමට පොලී මුදලාලි කිව්ව තවත් ණය දෙන්න බෑ කියල. සීසර් අයියත් කිව්වා තවත් ණය දෙන්න බෑ කියල.

අනේ ඉතින් මේ ජරමර අස්සේ පප්පලට ජාතිය බේරගන්න ඕන උනා. එතකොට සර් කිව්ව එයාව ලොකු පප්ප කරොත් ජාතියත් බේරල දීල තව බෝනස් එකට බදුත් අඩු කරල, පඩිත් වැඩි කරල, හැමෝටම ගම් සභාවේ රස්සාවල් දීල, ඩොලර් එකත් අඩු කරල, රෝමෙන් ලාබෙට බඩුත් අරන් දීල, තව කියන කියන ඕනම මගුලක් කරනව කියල. එහෙනං එලම තමයි කියල පප්පල ඇට නම ලක්ෂයක් එකතු වෙලා සර්ව ලොකු පප්ප කරල තාප්ප වල චිත්ර අඳින්න ගත්ත. අනේ ඉතින් සර් හරි කෙලින් මිනිහනේ, කියපු විදියටම වැඩේ කරා. ඉතින් ආදායම නැත්තටම නැති වෙලා වියදම නහුතෙට නැග්ග. සර් බය වෙලා බංකුවට ගියා. බංකුවේ ලොක්ක තමයි කබරාල. අනේ ඉතින් කබරාල කිව්ව සර් බය වෙන්න එපා, මෙහේ තියනව කහවනු අච්චු ගහන මැෂිමක්. ඒකෙන් ඕන තරන් කහවනු අච්චු ගහන්න පුළුවන් කියල. ඉතින් කබරාල කහවනු අච්චු ගහගෙන ගහගෙන ගියා. දැන් ඉතින් පප්පලට කහවනු අම්බානට තියනව. පප්පල හරිම සතුටින් කහවනු අරන් රොටි ගන්න කඩේට ගියා. අනේ ඉතින් කහවනු අච්චු ගැහුවට රොටි අච්චු ගහන්න බෑනේ. රොටි ප්රමාණය වැඩි උනේ නෑ. ඒ මදිවට හැමෝම කහවනු ගොඩක් අරගෙන රොටි ඉල්ලන නිසා මුදලාලි රොටියෙ ගාන වැඩි කරා. ඉතින් දැන් එක රොටියක් ගන්න කහවනු බර ගානක් දෙන්න ඕන. අනේ ඉතින් ඔහොම යනකොට ඔක්කොම බඩු ගණන් ගිහින් කහවනු විතරක් ඉතුරු උනා. කහවනු තිබ්බ කියල කන්න බෑනේ. කන්නේ රොටිනෙ. දැන් ඉතින් රොටි නෑනේ. පප්පල රෝමෙන් වත් රොටි ගේන්න හිතුව.

අනේ ඉතින් රෝමෙන් රොටි ගන්නේ කොහොමද, ඩොලර් එක ගණන් වැඩියිනේ. ඉතින් කබරාල බංකුව යට හදිසියකට ගන්න තිබ්බ ඩොලර් ටික පප්පලට අඩු ගානකට වික්ක. පප්පලත් කබරාලට තැන්ක්ස් කරල රෝමෙන් ලාබෙට රොටි අරන් කැව. ඉතින් ටික දවසක් යනකොට බංකුව යට තිබ්බ ඩොලර් ඉවර උනා. ඉතින් ඩොලර් එකේ ගාන රොකට් එක වගේ ඉහල ගියා. කහවනු අම්බානට තිබ්බට සත පහක් වත් වටින්නෙ නෑ. පප්පලට පඩි ගෙවා ගන්නත් බෑ. පඩි නැතුව බඩු ගන්නත් බැ. කන්නත් නෑ, බොන්නත් නෑ, ලයිටුත් නෑ, තෙලුත් නෑ, ඩොලරුත් නෑ, කහවනු වලින් වැඩකුත් නෑ, රෝමෙන් බඩු ගන්නත් බෑ. ණය ගන්නත් බෑ. ණය තියා පොලිය ගෙවාගන්නත් බෑ. පප්ප ගම බංකොලොත් උනා. සර් ඇවිල්ල හරි ආඩම්බරෙන් කිව්ව වැඩේ හරි, කිව්ව දේවල් ඔක්කොම කලා, දැන් ගම බංකොලොත්. ඉදිරියට තවත් සහන දෙන්නන් කියල.

අනේ ඉතින් පප්පලට මල පැන්න. අපි ඔයාට කිව්වේ බදු අඩු කරල, පඩි වැඩි කරල, හැමෝටම ගම් සභාවේ රස්සාවල් දීල, ඩොලර් එකත් අඩු කරල, රෝමෙන් ලාබෙට බඩු අරන් දෙන්න කියල මිසක් ගම බංකොලොත් කරන්න නෙවෙයිනේ. ඔයා හරිම නෝටියි, අපිව රැවැට්ටුව, අපි තොත්ත බබාලා නිසා අහු උනා, අපි හරි පවු කියල. ඉතින් පප්පල ටික ලොකු වලියක් දාල සර් එලෙවුව. සර් ගියාට පස්සේ පප්පල හිතුව මෙච්චර කල් අපි රැවටුනා. මීට පස්සෙ නන් අපි රැවටෙන්නෙ නෑ. දැන් එක පාරටම අපිට අම්බානකට මොලේ ආව, දැන් අපේ මොලේ අයින්ස්ටයින් අයියගේ මොලේටත් වඩා චුට්ටක් වැඩියි කියල. ඉතින් පප්පල හරිම සතුටින් කෑ කෝ ගහන්න ගත්ත.

අනේ ඉතින් මේ අතරේ සර්ගෙ පවුලේ කට්ටිය මේ හුටපටේ හාමුට කිව්ව. හාමු කිව්ව ඕකට රෝමෙන් ණයක් ගන්න ඕන. ඒකට සීසර් අයියට කතා කරන්න ඕන. ඉතින් ඒකට රෝම බාසාව දැන ගන්න ඕන. රෝම බාසාව දන්නේ මම විතරයි කියල. සර්ගෙ පවුලේ කට්ටිය හිතුව ඇත්ත තමයි කියල හාමුව ලොකු පප්ප කරා.

දැන් නං කන්න දෙයක් නැති තරමටම ගම කාල ඉවරයි. ඉවරයි කිව්වට ඉවරම නෑ. තව ටිකක් කන්න පුළුවන්. ඒකට අන්තිම පියවරට යන්න ඕන. ඒකත් වෙලාවක් තිබුනොත් පස්සේ ලියන්නන්.

No comments:

Post a Comment