Wednesday, August 7, 2024

සාර්ථක ජීවිතයකට හාමුගෙන් ගතහැකි පාඩම්

 හාමු යනු පප්ප ගමේ ලොකු පප්පාය. හාමු ලොකු පප්පා උනේ කිසිම කැම්පේන් එකක් නොකර, කහවනුවක් හෝ වියදම් නොකර, අඩුම තරමින් චන්දයවත් ඉල්ලන්නේ නැතුවය. ඒ අතින් හාමු යනු අමුතුම ඩයල් එකකි. හාමුගෙන් ජිවිතයට එකතු කර ගතයුත පාඩම් බොහෝය. 

1. විසඳිය හැකි ප්‍රශ්න පමණක් විසඳීම 

හාමු ගමේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න යන්නේ නැත. එයා අත ගහන්නේ එයාට පුලුවන් ඒවාට විතරය. බැරි ප්‍රශ්න කල් දැමීම, වෙන එකෙකුගේ ඇඟේ ගැහීම හෝ ප්‍රශ්නයක් ලෙස නොසැලකීම සිදුකරයි. ප්‍රශ්න නැත්තන් ප්‍රශ්නයක් නොවන දෙයක් ප්‍රශ්නයක් සේ සලකා එය විසඳා දෙයි. එහෙමත් නැත්තන් නැති ප්‍රශ්නයක් හදා එය විසඳා දෙයි. මේවා අපේ ජීවිතයටත් හොඳ ආදර්ශයකි. හැම මගුලටම අත ගහන්නෙ නැතිව පුළුවන් දේවල් විතරක් කිරීම වැදගත්ය. 

2. අමාරු ප්‍රශ්න අනුන්ගේ ඇගේ ගසා ලිස්සා යාම 

ලොක්කයි කියල ගමේ තියන හැම මගුලම ඔලුවට දාගන්න අවශ්‍ය නොවේ. එහෙම කරන්න ගියොත් ජීවිතය විඳින්නට බැරිය. හැබැයි ඉතින් ප්‍රශ්න විසඳන්නේ නැති නමුත් ඒවා විසඳන බව පෙන්වීම වැදගත්ය. ඒනිසා අමාරු ප්‍රශ්නයක් ආවාම එයට අදාළ පාර්ශව වලින් අදහස් විමසයි. එකගතාවයකට එන්න බැරි උනාම විරුද්ධ පාර්ශවයන් අතර සංවාදයක් ඇතිකර "ඔයාල කතාකරලා විසඳුමකට ඇවිත් මට කියන්න" යැයි කියයි. අනේ ඉතින් එයාල කොහොමත් විරුද්ධ නිසා වලි දාගනි. වලිය ඉවරවෙනකන් හාමු පැත්තකටවී එයාගෙ වැඩක් නොවෙයි වගේ බලා සිටි. 

3. අමාරු ප්‍රශ්න කල් දැමීම 

සමහර ප්‍රශ්න වලට හොඳම විසඳුම කාලයයි. කාලය ගතවනවිට ප්‍රශ්නය තවදුරටත් ප්‍රශ්නයක් නොවන අවස්ථාද, වෙන කවුරුහරි විසඳා දෙන අවස්ථාද ඇත. ඒ නිසා හැම මගුලම ඔලුවට අරගෙන ඉක්මනට විසඳන්න යාම මෝඩ වැඩකි. නිවැරදි අවස්තාව එනතුරු කල් දැමීම වැදගත්ය. 

4. මේ ලෝකෙ යකෙකුට විසඳිය නොහැකි ප්‍රශ්න විසඳන බව පෙන්වීම 

අනේ ඉතින් කාටවත් විසඳිය නොහැකි ප්‍රශ්ණ කියා ජාතියක් මේ ලෝකේ ඇත. උදාහරණ විදියට ආගමික ගැටුම්, දේශසිමා ප්‍රශ්න, පෘතුවිය උණුසුම් වීම, තිරසාර සංවර්ධනය ලඟාකර ගැනීම, ජීවයේ ආරම්භය, ලෝක ආහාර ප්‍රශ්නය, බලශක්ති අර්බුධය වගේ ප්‍රශ්න ජිවිත කාලයට විසඳිය නොහැක. විසඳිය නොහැක්කේ උත්තරේ දන්නේ නැති නිසාය. උත්තරේ කවුරුවත් දන්නෙ නැත්තන් මොන මගුලක් කිව්වත් ඒක උත්තරයක් වගේ පෙනේ. හාමු මේ වගේ ප්‍රශ්න වලට අතගසා මොනවාහරි කියයි. ඒක අසා පප්පන් අප්පුඩි ගසයි. අනේ ඉතින් එහෙම උනා කියල මොලෝ ප්‍රශ්නයක් විසඳෙන්නේ නැත. 

5. හැමෝටම ඇහුම්කන්දී තමන්ට ඕනෑ දෙය කිරීම

හාමු තමන්ට ඔන දේවල් එකපාරට කරන්න යන්නේ නැත. මුලින්ම ඒ ගැන සංවාදයක් ඇති කරයි. ඊට පස්සෙ කමිටුවක් දමා හැමෝගෙම අදහස් ගනී. ඊට පස්සෙ ඒ අදහස් සත පහකට ගනන් ගන්නෙ නැතුව හාමුට ඕනදේ කරයි. හැමෝගෙම අදහස් වලට සාවධානව අහුම්නන් දෙනබව පෙන්වීම සමාජයේ ජිවත් වීමේදී ඉතා වැදගත්ය. හැබැයි එක එකා කියන දේවල් කරන්න ගියොත් කෙලවෙන්නේ තමන්ටමය. ඒ නිසා එක එකාගේ වැල් බයිලා ගනන් ගන්නේ නැතුව තමන්ට ඕනදේ කිරීම වැදගත්ය. 

6. කලයුතු දෙය නොව, කලහැකි දෙය කිරීම 

කලයුතුදේ කියා දෙයක් මේ ලෝකේ නැත. හැම දෙයක්ම සාපේක්ෂය. කෙනෙකුට කලයුතුදේ වෙනත් කෙනෙකුට සාපේක්ෂව අනවශ්‍ය දෙයකි. ඒ නිසා කලයුතු දේවල් කියල නිකන් වදවෙන්නට ඕන නැත. ඒනිසා හාමු කලයුතු දේ නොව එයාට කරන්න පුළුවන් දේවල් විතරක් කරයි. ඒවාත් කරන්නේ කලයුතු විදියට නොව කළහැකි විදියටය. පර්ෆෙක්ට් වෙන්න උත්සාහ කිරීමෙන් අනවශ්‍ය මානසික පීඩනයක් ඇතිවේ. වැඩේ බාගෙට කලත් කමක් නැත. නිකන් කාටහරි බැනබැන ඉන්නවට වඩා මොකක් හරි කිරීම වැදගත්ය.  

7. අනාගත බලාපොරොත්තු ඇති කිරීම

ධනාත්මක චින්තනය ජීවත්වීමේ බලාපොරොත්තු සහ හිතේ සතුට ඇති කරයි. අනේ ඉතින් එහෙම හිතාගෙන හිටිය කියල මෙලෝ මගුලක් වෙන්නේ නැත. මේ වගේ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් ට්‍රික් එකක් ඇත. එය නම් අතීතය ඉතා ඛේදජනක වූ බව පැහැදිලි කිරීමය. අතීතය අප්සෙට් නං මොනාකලත් ඊටවඩා අනාගතය හොඳය. ඒ නිසා අලුත් බලාපොරොත්තු ඇතිවේ. ඒනිසා හාමු ඉස්සර තිබ්බ පෝලිම් වගේ දේවල් නිතරම කතා කරයි. පප්පගමට වඩා කෙලාවාගත්ත ගම් ගැනත් කතාකරයි. නරකම කාලයට සහ නරකම දේවල් වලට සාපේක්ෂව ඔනෑම දෙයක් හොඳ නිසා හිතේ සතුට ඇතිවේ. 

8. අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම 

අනේ ඉතින් හැම දෙයක්ම තමන්ම මහන්සි වෙලා ප්ලෑන් කරලා ඒ විදියටම කරන්න ඕන කියල දෙයක් නැත. මේ ලෝකේ තමන්ගේ කිසිම බලපෑමක් නැතුව සිද්ධවෙන දේවල් ගොඩාක් ඇත. සමහර වෙලාවට ඒවා තමන්ගේ වාසියට පාවිච්චි කලහැක. "මහා නිර්පාක්ෂික සාමකාමී වලිය" පාවිච්චි කරලා හාමු ලොකු පප්පා උනේද එහෙමය. Opportunities කියන දේවල් හිටිගමන් එන වෙලාවල් ඇත. එහෙම එකක් ආවාම හිත හිත ඉන්නේ නැතුව පැනල අල්ලගන්න ඕනය. හැබැයි ඉතින් අල්ලගත්තට විතරක් මදිය. ඒක පවත්වාගෙන යෑමේ හැකියාව තිබිය යුතුය. ඒ නිසා අවස්තාවක් තිබ්බත් නැතත් නිතරම දැනුම ලබාගැනීම වැදගත්ය. හාමු වගේ පොත් කියවා netflix බලා අලුත් දැනුම එකතුකරගෙන අවස්තාව එනතුරු ඉවසීමෙන් සිටිය යුතුය. ගැලපෙන අවස්ථාව ආවාම පැනල අල්ලාගත යුතුය. 






No comments:

Post a Comment